කෑගල්ල රෝහලේ ජරමරයක්
දෂ්ට කරපු නයා සමග රඹුක්කන රෝහලෙන් කෑගල්ල මහ රෝහලට මාරුකර යවන ලද නයි නටවන්නෙකු නිසා කෑගල්ල මහ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය අසීරුතාවට පත්වී ඇත. වනජීවි නිලධාරින්ගේ සහයෙන් නයාට ආරක්ෂාවත් ලෙඩාට ප්‍රතිකාරත් ලබා දීමට පියවර ගත් බව කෑගල්ල මහ රෝහලේ අධ්‍යක්ෂිකා විශේඥ වෛද්‍ය මිහිරි ප්‍රියංගනී පැවසුවාය.
රඹුක්කන ප්‍රදේශයේ නයි නටවන පුද්ගලයකුට ඊයේ 26 ඔහුගේම නයා දෂ්ට කිරීම නිසා රඹුක්කන දිසා රෝහලට ඇතුළත් කර ඇත. රඹුක්කන රෝහලේ වෛද්‍යවරුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝගියා කෑගල්ල මහ රෝහල වෙත මාරුකර එවනු ලැබීය .
කෑගල්ල මහ රෝහල වෙත ගිලන් රථයෙන් රෝගියා රැගෙන පැමිණි අතර ඔහු සමග නයි පෙට්ටියද විය. මෙය දුටු රෝහල් සේවකයෝ රෝගියට ප්‍රතිකාර කළ හැකි වුවත් නයකු සමග පෙට්ටිය රෝහල් වාට්ටුවේ තබා ගැනීමට නොහැකි යැයි රෝහල් අධ්‍යක්ෂ වරිය දැනුවත් කර ඇත.
තමා ජීවත් වන්නේ නයාගෙන් බැවින් නයාව කැලේට මුදාහැරීමට බැරියැයි නයි නටවන්නා හඬමින් රෝහල් කාර්ය මණ්ඩලයෙන් ඉල්ලීය..
ඒ අනුව රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය මිහිරි ප්‍රියංගනී මෙම ගැටලුවට වනජීවි නිලධාරින්ගේ සහය පැතීය.
වනජීවි නිලධාරින් දෙදෙනකු කෑගල්ල මහ රෝහලට පැමිණ නයාව කූඩයෙන් එළියට ගෙන ආහාර දී ආරක්ෂිත කූඩයක තැබීමට පියවර ගත්තේය. රෝගියාට ප්‍රතිකාර කිරීම තම කාර්ය මණ්ඩලයේ වගකීම බවත් එය ඉටුකරන අතරම රෝගියාගේ ජීවනෝපාය නිසා නයත් රෝගියාත් දෙදෙනාම ආරක්ෂා කිරීමට සිදුවූ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය මිහිරි ප්‍රියංගනී ප්‍රකාශ කළාය.
(Aruna)