Saturday, July 05, 2025
Follow Us
සිමෙන්ති අර්බුදය උග්‍ර අතට

මේ වන විට සිමෙන්ති සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතිනවා.

ඊට හේතුවී ඇත්තේ සිමෙන්ති හිඟය සහ සිමෙන්ති මිල හිතූ හිතූ ආකාරයෙන් ඉහළ නැංවීමයි.

ඇතැම් ප්‍රදේශවල සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2,000 ක් දක්වා වැඩිවී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1,375 ක් විය යුතු බවට දන්වා ඇති පසුබිමක් තුළයි.

මතුව ඇති සිමෙන්ති අර්බුදය සම්බන්ධයෙන් අද දිනයේ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා මුණගැසී සාකච්ඡා කරන බවයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

මේ අතර මේ වන විටත් වැඩි මිලට සිමෙන්ති අලෙවි කළ ව්‍යාපාරික ස්ථාන 56ක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වටලනු ලැබ තිබෙනවා.

ඒ, කොළඹ, කළුතර, ගම්පහ, මහනුවර, කුරුණෑගල, රත්නපුර, බදුල්ල, මොණරාගල, අනුරාධපුර, ගාල්ල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ ලකුණු කළ මිලට වඩා වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන ව්‍යාපාරිකයින් සොයා දිවයින පුරා වැටලීම් හා විමර්ශන ආරම්භ කර ඇති බවයි.

සිමෙන්ති විකිණීම ප්‍රතික්ෂේප කිරීම, තම සන්තකයේ තබාගෙන සිමෙන්ති නොමැති බව පැවසීම, කොන්දේසි සහිතව අලෙවිය හා තොග සඟවා තබා ගැනීම නොකළ යුතු බවට පාරිභෝගික අධිකාරි පනතෙහි සඳහන්.

එලෙස සිමෙන්ති සඟවන වෙළෙඳුන් සතු සිමෙන්ති තොග රාජසන්තක කිරීමටද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට බලතල හිමියි.

මෙරට මාසික සිමෙන්ති අවශ්‍යතාව කොට්ට ලක්ෂ 140 ක් පමණ වනවා.

එම අවශ්‍යතාවයෙන් මෙරට නිෂ්පාදනය කෙරෙන කොට්ට ප්‍රමාණය සියයට 40 ක්. තවත් සමාගම් 02 ක් සියයට 32 බැගින් සහ සියයට 18 බැගින් සිමෙන්ති ආනයනය කරනවා. තවත් සිමෙන්ති කොට්ට සියයට 10 ක ප්‍රමාණයක් කොට්ට වශයෙන්ම ආනයනය කර බෙදාහැරීම සිදුවනවා.

(Neth)