Saturday, July 05, 2025
Follow Us
ඉන්ධන නැතිව විදුලි බලාගාර තුනක් නවතින ලකුණු

ඩීසල් සහ දැවි තෙල් නොමැතිවීම හේතුවෙන් කැළණිතිස්ස සහ සපුගස්කන්ද යන බලාගාරවල විදුලි උත්පාදනයට දැඩි ගැටලුවක් මතුව තිබෙනවා.

කැලණිතිස්ස තාප විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක් හදිසියේ අක්‍රීය වී ඇත්තේ ඊයේ රාත්‍රීයේයි.

එම යන්ත්‍රය ක්‍රියාත්මක වන අවස්ථාවේ ඉන්ධනවල ඇතිවූ යම් ගැටලුවක් හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වුණේ. මෙම ජනන යන්ත්‍රය සඳහා භාවිත කළ ඉන්ධනවල තත්ත්වය සම්බන්ධයෙන් යම් සැකයක් පවතින බවත්, ඒ සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් අදාළ බලාගාරය භාර ඉංජිනේරුවන් පවසනවා.

මෙලෙස අක්‍රියවී තිබුණේ කැලණිතිස්ස විදුලි බලාගාරය පිහිටි “ජී ටී 7” ජනන යන්ත්‍රයයි. එමගින් ප්‍රධාන පද්ධතියට එක්කරන විදුලි ධාරිතාවට මෙගා වොට් 115 ක්. කෙසේවෙතත් මෙම ගැටළුව හේතුවෙන් මේ වනවිට ප්‍රධාන පද්ධතියට බාධාවක් නොමැති බවත්, විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය නොවන බවත් විදුලිබල මණ්ඩලයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

මේ වන විට වාර්තා වන ආකාරයට කැළණිතිස්ස බලාගාර සංකීර්ණයට ඩීසල් මෙට්‍රික් ටොන් 10,000 ක් සැපයීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව එකඟවී ඇතැයි සඳහන්.

මේ හේතුවෙන් කැළණිතිස්ස බලාගාරයේ විදුලි ජනනයට බාධාවක් නොවනු ඇති බවටයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මේ වනවිට ප්‍රබලම ගැටලුවක් බවට පත්ව ඇත්තේ සපුගස්කන්ද බලාගාරයේ විදුලි උත්පාදනයයි. විදුලි උත්පාදනයට අවශ්‍ය දැවි තෙල් ප්‍රමාණවත් නොවීම ඊට බලපා ඇති ප්‍රධාන හේතුවයි. සපුගස්කන්ද පළමු බලාගාරයේ විදුලි ජනනය සඳහා දැනට පවතින දැවි තෙල් ප්‍රමාණවත් වන්නේ පැය 08 ක කාලයක් විදුලිය උත්පාදනයට පමණක් බවයි නෙත් නිවුස් කළ සොයාබැලීමකදී හෙළි වුණේ.

සපුගස්කන්ද දෙවන බලාගාරයේ විදුලි ජනනය සඳහා දැනට පවතින දැවි තෙල් ප්‍රමාණවත් වන්නේ පැය 20 ක කාලයක් විදුලිය උත්පාදනයට පමණක් බව එහිදී අනාවරණ වුණා. පවතින ගැටලුව සම්බන්ධයෙන් නෙත් නිවුස් විදුලිබල මණ්ඩලයෙන් විමසීමක් කළා. එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමුණි පැවසුවේ විදුලි උත්පාදනයට අවශ්‍ය දැවි තෙල් ලබාදෙන ලෙස ඉල්ලා ඇති බවයි.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ අක්‍රියවී ඇති මෙගාවොට් 300 ක විදුලි ධාරිතාවක් උත්පාදනය කරන ජනන යන්ත්‍රයේ බිදවැටීම යථා තත්ත්වයට පත්කිරීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බවටයි පැවසෙන්නේ. ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත්වන තුරු විදුලි උත්පාදනය කිරීමට සිදුව ඇත්තේ ඩීසල් සහ දැවි තෙල්වලින්. එහෙත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමා ඇති බැවින් දැවි තෙල් ලබා ගැනීම ද ගැටලුවක් වී තිබෙනවා.

ඩීසල් ලබා ගැනීම අර්බුදයක් බවට පත්වුණේ ඩොලර් ලබා දෙනතුරු ඩීසල් ලබාදිය නොහැකි බවට බලශක්ති අමාත්‍යංශය විදුලිබල අමාත්‍යංශය වෙත දැනුම්දීමත් සමඟයි. කේසේවෙතත් මේ වන විටත් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඩීසල් තොගයක් ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදී තිබෙනවා.

එහෙත් එම තොගය ප්‍රමාණවත් වන්නේ තවත් දින 05 ක කාලයකට පමණයි. කැළණිතිස්ස විදුලි බලාගාරයෙන් දිනකට මෙගාවොට් 286 ක් ජාතික පද්ධතියට එක්කරන අතර සපුගස්කන්ද බලාගාරයෙන් මෙගාවොට් 108 ක් ජාතික පද්ධතියට එක් කරනවා.

(Neth)