ශ්‍රී ලංකා රජය අද අමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණයක් ගෙවීමට නියමිතයි. මෙලෙස ගෙවනු ලබන්නේ 2012 වසරේ ලබාගත් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර කල් පිරීම වෙනුවෙන් ගෙවිය යුතු ණය මුදලයි. මෙම ණය ගෙවා ගැනීම සදහා ශ්‍රී ලංකාව සූදානම් බවයි මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසන්නේ.
ශ්‍රී ලංකාව මෙලෙස අද ඩොලර් මිලියන 500 ක ණයක් ගෙවන්නේ මෙරට විදෙස් සංචිත සම්බන්ධයෙන් දැඩි අර්බුදයක් මතුව ඇති සමයකයි. ඉන්ධන, කිරිපිටි මෙන්ම අත්‍යවශ්‍ය ආහාර පවා ගෙන්වීමේදී මෙරට විදෙස් සංචිත ප්‍රමාණය පිළිබද මතුකර ඇත්තේ ගැටළුකාරී තත්ත්වයක්.
එබැවින් මෙම ණය සම්බන්ධයෙන් වෙනදාටත් වඩා රට තුළ දැඩි කතාබහක් මතු වුණා. ඒ අනුව අද දිනයේ ගෙවා දමන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර යනු මොනවාදැයි නෙත් නිවුස් සොයා බැලීමක් කළා. මේ, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රියංග දුනුසිංහ.
රට ඩොලර් අර්බුදයක ඇති සමයක මෙම ණය ගෙවා නොදමන ලෙසයි ඇතැම් ආර්ථික විශ්ලේෂකයින් පැවසුවේ. ඔවුන් ඊට හේතුව ලෙස ප්‍රකාශ කළේ අමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය වාරිකය ගෙවා දැමීමෙන් ශ්‍රී ලංකාව තවත් ආර්ථික අර්බුදයකට ලක්වන බවයි.
එබැවින් මෙම ණය ගෙවීම කල් දමා ගැනීමකට හෝ ප්‍රතිව්‍යුහගත කිරීමට යාම වඩාත් යෝග්‍ය බව ඇතැම් ආර්ථික විද්‍යාඥයින්ගේ අදහස වුණා. සැබවින්ම ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර ණය ගෙවීම කල් දැමිය හැකිද?
ශ්‍රී ලංකා මහබැංකුවේ දත්තවලට අනුව මෙරට නිල විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3 කට අධිකයි. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර වෙනුවෙන් වැඩිම ණය මුදලක් ගෙවීමට ඇත්තේ ලබන ජුලි 25 වනදායි. එම ණය මුදල අමෙරිකානු ඩොලර් බිලියනයක්. මේ වසර තුළ පමණක් සමස්ථ ණය අමෙරිකානු ඩොලර් බිලියන 6 යි දශම 9 ක ණය මුදලක් ගෙවීමට ඇති බවටයි වාර්තා වන්නේ. මේ වසර තුළ මෙලෙස ගෙවා දැමීමට සිදුවන්නේ ස්වෛරීත්ව බැදුම්කර හරහා 2012 වසරේදී ගත් ණයයි.
(Neth)