අඛණ්ඩ විදුලි උත්පාදනය සම්බන්ධයෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති පසුබිමක ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක අද නිරත වනවා. ඒ, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ හිතවතෙකු නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත් කිරීමට විරෝධය දක්වමින්.
විශ්‍රාමිකයෙක් වන නව සාමාන්‍යාධිකාරීවරයා අමෙරිකානු සමාගමක් සමඟ අත්සන් කළ ගිවිසුමට ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්සන් කළ පුද්ගලයා මෙන්ම ඔහුගේ සේවා කාලයේ කටයුතු පිළිබඳව ද ගැටලු තිබෙන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසන්නේ.
එහි විධායක කමිටු සාමාජික චරිත දයාරත්න පැවසුවේ එවන් පුද්ගලයෙකු නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත්කර ඇත්තේ විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ අභිමතය පරිදි බවයි.
අද සිදු කෙරෙන වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් පමණක් විදුලි බිඳවැටීමක් සිදු නොවනු ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන සොයා ගැනීමේ ගැටලුව හේතුවෙන් මෙරට අඛණ්ඩ විදුලි නිෂ්පාදනය මේ වන විටත් පවතින්නේ දැඩි අර්බුදයකයි. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ ඩොලර් නොමැතිව විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන තවදුරටත් ලබාදිය නොහැකි බවයි.
කෙසේවෙතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දෛනිකව ඩීසල් මෙටි්‍රක් ටොන් 1,500 බැගින් අද දිනය දක්වා ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදීමටයි කටයුතු කර තිබුණේ. එහෙත් විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ඉන්ධන ඇත්තේ අද දිනය දක්වා පමණක් බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු ඊයේ සඳහන් කළේ.
මෙවන් පසුබිමක විදුලිබල අමාත්‍යංශය දැන් සූදානම් වන්නේ ඉදිරි දින කිහිපය සඳහා අවශ්‍ය ඉන්ධන ලංකා ෂධක් සමාගමෙන් ලබා ගැනීමටයි. ඒ වෙනුවෙන් ලංකා IOC සමාගම සමග අද සාකච්ඡා ආරම්භ කිරීමටද නියමිතව තිබෙනවා.
විදුලිබල අමාත්‍යංශය හා ලංකා විදුලි බල මණ්ඩලය මේ වන විට දැඩි උත්සහයක නිරත වෙමින් සිටින්නේ ලබන සෙනසුරාදා වන තෙක් අඛණ්ඩ විදුලි සැපයුමක් සදහා කෙසේ හෝ ඉන්ධන සොයා ගැනීමටයි. ඒ වෙනුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමගද තවදුරටත් සාකච්ඡා පැවැත්වීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා.
මේ වන විට මෙරට විදුලි නිෂ්පාදනයෙන් සියයට 60 ක් සිදු කෙරෙන්නේ ගල් අඟුරු සහ ඩීසල් බලාගාරවලින්. මේ වන විට ජල විදුලියෙන් විදුලිය උත්පාදනය සියයට 38 ක් දක්වා අඩු වී තිබෙනවා. මෙගාවොට් 900 කින් යුත් නොරොච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 300 ක පද්ධතිය ද ඉකුත්දා බිඳ වැටුණා.
මෙවන් පසුබිමක විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන ලබානොදීම හේතුවෙන් ඉකුත් දින කිහිපයකම ප්‍රදේශ රැසක විදුලි සැපයුම බිද වැටුණා.
(Neth)