පොලිස් ආරංචි මාර්ග සඳහන් කරපු දේ
බොරැල්ලේ කතෝලික දේවස්ථානයක තිබී අත් බෝම්බයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු මේ වනවිට වරාය පොලීසියේ රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
සැකකරු, කඩවත බියන්වල පදිංචි 65 හැවිරිදි අයෙක් බව වාර්තා විය.
බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී පසුගිය 11 වනදා අත් බෝම්බයක් සොයාගැනුණු අතර දේවස්ථානය සමඟ දිගු කලක් සබඳතා පැවැත්වූ මරදානේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයකු සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගැණුනි.
ඒ සමඟ තවත් සැකකරුවන් තිදෙනකුද පොලිස් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන දියත් කළේය.
එහෙත් නියම සැකකරුවන් අත්අඩංගුවට නොගෙන සිද්ධිය යටපත් කිරීමට පොලීසිය උත්සාහ ගන්නා බවට කාදිනල් හිමියන් ඊට පසුදිනම මාධ්‍ය හමුවක් පවත්වමින් චෝදනා කළේය.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසුවේ එවැනි සිද්ධයක් සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන්වීමට පෙර විවේචන එල්ල කිරීම සාධාරණ නොවන බවය.
ආරක්ෂක අංශ එලෙස සහතික වෙද්දී (16) නිවේදනයක් නිකුත් කළ බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ මීසම් ධර්මසේවා සභාව කියා සිටියේ හමුවු අත් බෝම්බය සම්බන්ධයෙන් සිදුවන මෙම පරීක්ෂණ පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවය.
සී.සී.ටී.වී දර්ශනවලට අනුව සැකකරුවන් හඳුනාගැනීමට පොලීසියට හැකියාව තිබියදීත් එලෙස කටයුතු නොකිරීම ගැටලු සහගත බවටද එමගින් චෝදනා කර තිබේ.
මෙවන් පසුබිමක අදාළ අත් බෝම්බ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි මුද්‍රිත මාධ්‍ය රැසක් (17) වාර්තා කර තිබුණි.
එම බෝම්බය තැබීම සඳහා ඔහුට වෙනත් පුද්ගලයෙක් රුපියල් පනස් දහසක මුදලක් දී ඇතැයි පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙන බවද එම වාර්තාවල සඳහන් වේ.
මෙම සිද්ධිය යම් පිරිසකගේ කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් යැයි පෙනීයන බව අදාළ තොරතුරු හෙළිකළ පොලිසියේ උසස් නිලධාරියා සඳහන් කළේ යැයිද එම මාධ්‍ය වාර්තාවල දැක්වේ.
(Aruna)