Friday, July 04, 2025
Follow Us
 ඉක්මනින්ම බූස්ටර් එන්නත ලබාගන්න

විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙන් පැහැදිලි කිරීමක්


තුන්වැනි එන්නත් මාත්‍රාව හැකි ඉක්මනින් ලබාගන්නා ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා පවසයි.

ඉදිරියේදී ඔමික්‍රෝන් ප්‍රභේදය මෙරට ප්‍රමුඛතම කොවිඩ් වෛරස ප්‍රදේභය බවට පත්වීමේ වැඩි ඉඩක් ඇති බව මාධ්‍ය වෙත අදහස් පළකරමින් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

“ශරීරය විවිධ රෝගවලට සහ විවිධ වෛරස් කාණ්ඩවලට සහ විවිධ රෝග කාරකවලට ප්‍රතික්‍රියා කරන ආකාරය එක් එක් වෛරස බැක්ටීරියා සහ ඒ රෝග කාරකය අනුව වෙනස් වෙනවා. එයින් සෑම දෙනාටම එකම විදිහේ ප්‍රතිශක්තියක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේ කොරෝනා වෛරසය නිසා ඇතිවන ප්‍රතිශක්තියත් එවැනි ආකාරයක තමයි කියන එක දැනට තහවුරුවෙලා තිබෙනවා. ඒ නිසා නැවත බූස්ටර් මාත්‍රාවක් ලබාදීම අවශ්‍ය වෙන්න පුළුවන්. මිත්‍යා මතවලට රැවටෙන්න එපා. මේ එන්නත ලබාදීම නිසා ශරීරයේ ප්‍රතිශක්තිය එයට හුරුවෙනවා කියන එක. ඒ නිසා දැනට මේ ලැබිලා තියෙන අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන තෙවන මාත්‍රාව ලබාගැනීමට යොමුවන ලෙස අපි මෙහිදී ආරාධනා කරනවා. නිකුත්වෙලා තියෙන ඒ ජාන අධ්‍යන ප්‍රතිඵල අනුව පැහැදිලිවෙලා තියෙනවා ශ්‍රී ලංකාව පුරාම මේ ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරීමේ පැහැදිලි හැකියාවක් ලැබෙන බව. මොකද දැනට තහවුරු වූ රෝගීන් ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ලබාගත් සාම්පළ නියැදිවලින් තමයි තහවුරුවෙලා තියෙන්නේ. ඒ නිසා ඔවුන් ආශ්‍රිතව සමහරවිට තවත් රෝගීන් සිටින්න පුළුවන් සහ සමහරවිට මෙය දැනට වාර්තා නොවූ ප්‍රදේශවලටත් පැතිරයාම සිදුවෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම එන්නත් ලබාගෙන නැති පුද්ගලයින් අතරින් මේ රෝගය නැවත නැවත පැතිරයාම දකින්න තිබෙනවා. අපි දන්නා ආකාරයට මේ දීර්ඝ නිවාඩුව ආශ්‍රිතව සහ දැනට සංචරණ සීමා ලිහිල් කිරීම සමග සමාජයේ ඉතා පැහැදිලිව සංචරණය වැඩිවෙලා තිබෙනවා. පුද්ගල ඒකරාශීවීම් ඉතාම පැහැලිව වැඩිවෙලා තිබෙනවා. මේ සියලු තත්ත්වයන් ඔමික්‍රෝන් ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළ නැවත පැතිරීමේ භායානක අවධානම වැඩිකරනවා කියන එක ඉතා පැහැදිලිව සඳහන් කරන්න ඕනේ. ඉදිරියේදී ඔමික්‍රෝන් ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන ප්‍රභේදය බවට පත්වෙන්න පුළුවන්.”

(Aruna)