Friday, July 04, 2025
Follow Us
ලොවපුරා හින්දු ජනතාව අද තෛපොංගල් උත්සවය සමරයි

ලොවපුරා හින්දු ජනතාව අද තෛපොංගල් උත්සවය සමරනු ලබනවා. හින්දු දින දර්ශනයට අනුව වසරේ පළමු මාසය තෛයි යනුවෙන් හැදින්වෙන අතර පොංගල් යන්නෙන් උදාව යන්න අර්ථවත් කෙරෙනවා.

කෘෂිකාර්මික කටයුතු සාර්ථක කර ගැනීමට හිරු දෙවියන් ඇතුළු සොබාධර්මය දුන් ශක්තියට කෘතගුණ සැලකීම මුල්කර ගෙනයි හින්දු බැතිමතුන් තෛපොංගල් උත්සවය සමරනු ලබන්නේ.

මේ අතර අදට යෙදී ඇති තෛපොංගල් දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සුභාශිංෂණ පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. සොබාදහමට අනුකූල ජීවන රටාවත් සමග සශ්‍රීකත්වය කරා අප පියවර තැබිය යුත්තේ හරිත කෘෂිකර්මාන්තය මත පදනම්ව බවයි ජනාධිපතිවරයා සිය තෛපොංගල් දින පණිවිඩයේ සදහන් කර ඇත්තේ.

එබැවින් හරිත කෘෂිකර්මාන්තයක් සදහා වන ජාතික ප්‍රතිපත්තිය සාර්ථක වනු දැකීම බහුතර ශ්‍රී ලාංකික ජනතාවගේ අපේක්‍ෂාව බවත් ඒ සදහා තෛපොංගල් සමය දැඩි උද්යෝගයක් සපයන බවත් තමන් තරයේ විශ්වාස කරන බවයි ජනාධිපතිවරයා නිකුත් කළ තෛපොංගල් දින පණිවුඩයේ දැක්වෙන්නේ.

සුරක්‍ෂිත දේශයක සෞභාග්‍ය හා සශ්‍රීකත්වය වෙනුවෙන් කැපවී සිටින සැමට සූර්ය දෙවියන්ගේ ආශිර්වාදය සහ රැකවරණය ප්‍රාර්ථනා කරන බවද එහි වැඩිදුරටත් සදහන්.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ද අදට යෙදී ඇති තෛපොංගල් දිනය වෙනුවෙන් සුභාෂිංශන පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. දුෂ්කරතා හමුවේ වුවද එන්නත්කරණ වැඩසටහන විධිමත්ව පවත්වා ගැනීම හේතුවෙන් ජනතාවගේ ජීවිත ආරක්‍ෂා කර දීමේ වගකීම ඉටු කිරීමට රජයට හැකි වූ බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

වසංගත තත්ත්වය හමුවේ තවදුරටත් සංකෘතික බැදීම් සීමා නොවීමට එය හේතු වූ බවත් අනාගතයට පියමං කළයුතුව ඇත්තේ අභියෝගවලට මුහුණදීමේ අධිෂ්ඨානය පෙරදැරිව බවත් එහි වැඩිදුරටත් දැක්වෙනවා.

මිනිස් වර්ගයා අතර සුහදශීලි දිවි පෙවතක් වෙනුවෙන් රුකුල් දෙන තෛපොංගල් වැනි උත්සවවල අර්ථාන්විත වටිනාකම සුළුපටු නොවන බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මිනිස් වර්ගයාටත් සත්වයින්ටත්, සොබාදහමටත් ගරු බුහුමන් පුදන බැතිබර සහ ප්‍රීතිමත් තෛපොංගල් දිනයක් ප්‍රාර්ථනය කරන බවයි විපක්‍ෂ නායකවරයා සිය තෛපොංගල් දින පණිවුඩයේ දක්වා ඇත්තේ.

(Neth)