Monday, July 07, 2025
Follow Us
ප්‍රදේශ කිහිපයක අනතුරුවලින් තිදෙනකු ජීවිතක්ෂයට

අනතුරක් සිදු කළ තැනැත්තා පලා යයි


ගත වූ පැය 24ක කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රිය අනතුරු සිදුවීම් වාර්තා වී ඉන් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවත් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර් යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ අනුව ඊයේ (01) දහවල් කාලයේ දී හෝමාගම පොලිස් වසමේ හයිලෙවල් මාර්ගයේ මාකුඹුර ප්‍රදේශයේ දී කොට්ටාව සිට හෝමාගම දෙසට ගමන් කරමින් තිබූ මෝටර් රථයක් යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු හෝමාගම රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත් වූ බවයි පොලීසි‍ය පවසන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, වයස අවුරුදු 30ක් වන පනාවැව – බිංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ලොරි රථයේ සහ යතුරුපැදිකරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතු වී ඇති අතර, ලොරි රථයේ රියැදුරු හෝමාගම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර හබරණ පොලිස් වසමේ ත්‍රිකුණාමලය – හබරණ මාර්ගයේ ගල්වංගුව ප්‍රදේශයේ දී කාර් රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව, පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බව වාර්තා වනවා.

හබරණ දෙස සිට ත්‍රිකුණාමලය දෙසට ධාවනය වූ කාර් රථය, එම දෙසටම ධාවනය වෙමින් තිබූ වාහන පෙළක් පසුකරමින් අධික වේගයෙන් ඉදිරියට ගොස් ඇති අතර, ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක අදාළ කාර් රථය ගැටී ඇති බවයි පොලීසිය පවසන්නේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ කාර් රථයේ රියදුරු ප්‍රතිකාර සඳහා හබරණ රෝහලට ඇතුළත් කෙරුණු ද ඔහුගේ තත්ත්වය බරපතළ වූ බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.

මහරගම ප්‍රදේශයේ පදිංචි මෙම මරණකරු 27 හැවිරිදි වියෙහි පසුවන්නෙක්.

එමෙන්ම , තවත් මාරක අනතුරක් ගාල්ල- මාතර මාර්ගයේ කිලෝමීටර් 128 කණුව අසල දී සිදුව තිබෙනවා.

මාර්ගය අයින් ගමන් කළ පදිකයෙකුගේ ගැටී මාර්ගයේ ගමන් ගත් වාහනයක් අනතුරක් සිදු වුණා.

මෙම අනතුරෙන් පදිකයා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත් ව ඇති අතර, අනතුර සිදු කළ තැනැත්තා පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ, 22 හැවිරිදි උජුවත්ත – හබරාදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුර සිදු කර පලා ගිය රථය සහ සැකකරු සොයා හබරාදුව පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කරනවා.

(Aruna)