Tuesday, July 08, 2025
Follow Us
වෛද්‍යවරුන්ගේ වර්ජනය දිගටම

රෝගීන් විශාල සංඛ්‍යාවක් දැඩි අහසුතාවයක


නව වෛද්‍ය පත්වීම් ලබාදීමට විරෝධය පළ කරමින් ආරම්භ කළ වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඊයේ (21 වැනිදා) තීරණය කළේය.

රෝහල් කරා පැමිණි රෝගීහු දහස් ගණනක් මෙම වර්ජනය හේතුවෙන් ඊයේ (21 වැනිදා) දැඩි අපහසුතාවකට පත්ව ආපසු හැරී ගොස් තිබිණි.

කොළඹ ජාතික රෝහල, කළුබෝවිල හා මහනුවර ශික්ෂණ රෝහල් ඇතුළු දිවයින පුරා රෝහල්වලට ප්‍රතිකාර සඳහා පැමිණි බාහිර රෝගීන්ගේ සායන කටයුතු සඳහා වැඩ වර්ජනයෙන් බාධා සිදුවුවද ඒවායේ හදිසි සේවාවන් ක්‍රියාත්මක වු බව රෝහල් බලධාරීහු පැවසූහ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම රෝහල්වල රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සමාජික වෛද්‍යවරුන් වැඩ වර්ජනයේ නියැ​ළෙද්දී රජයේ ලියාපදිංචි වෛද්‍යවරුන්ගේ සංගමයට අයත් වෛද්‍යවරු සේවය කරන රෝහල්වල බාහිර රෝගී අංශ සේවා කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කෙරිණි.

ත්‍රිකුණාමලය, පොළොන්නරුව, නුවරඑළිය, මන්නාරම සහ රත්නපුර දිස්ත්‍රික්කයන්හි රෝහල්වලින් පෙරේදා (20 වැනිදා) ආරම්භ කරන ලද වර්ජනය ඊයේ (21 වැනිදා) සිට දිවයින පුරාම රෝහල්වල ක්‍රියාත්මක විය.

සිය ඉල්ලීම් සඳහා විසඳුම් ලැබෙන තෙක් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ඊයේ (21 වැනිදා) පැවති සාකච්ඡාවක දී තීරණය කළ බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද ‘අරුණ‘ට පැවසීය.
එසේ වුවද දිවයින පුරා සියලුම රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවා කටයුතු සහ මාතෘ රෝහල්, පිළිකා රෝහල සහ වකුගඩු රෝගී ප්‍රතිකාර ඒකකවල වැඩවර්ජනය ක්‍රියාත්මක නොවන අතර කොවිඩ් ප්‍රතිකාර සේවා හා එන්නත්කරණ වැඩසටහන් කිසිදු බාධාවකින් තොරව සිදුකරන බවද ඒ මහතා කීවේය.

මෙම වර්ජනය ආරම්භ කරනු ලැබුවේ මාරු මණ්ඩලයේ අනුමැතියකින් තොරව අත්තනෝමතික ලෙස වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදෙන බවට චෝදනා කරමිනි.

කෙසේවුවද වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදීම අත්තනෝමතිකව සිදු කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කළත් එකී පත්වීම් ලබාදුන්නේ එම සංගමයේ ද එකඟතාව මත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සේවා අවශ්‍යතාවය මත රජයේ රෝහල් සඳහා වෛද්‍ය නිලධාරීන් පත්කිරීමේදී සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් ප්‍රමුඛතාවය අනුව පුරප්පාඩු හඳුනාගෙන සකස් කළ ලේඛන ඔවුන්ගේ අත්සන සහිතව අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

(Aruna)