Tuesday, July 08, 2025
Follow Us
එක්දිනකදී ලංකාවේ සිදුවන ළමා අපචාර 32කට අධිකයි

අපේ රටේ අද විනය බොහොම වේගයෙන් පිරිහියනවා


“ළමාආරක්ෂක අධිකාරියට ලැබෙන පැමිණිළි අනුව එක් දිනකදි මේ රටේ ළමා අපයෝජන, අපචාර 32කට වඩා සිදුවන බව වාර්තා වනවා” යයි කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තද සිල්වා පැවැසීය.

මදුරාවල මහා විද්‍යාලයේ පරිගණක විද්‍යාගාරය විවෘත කිරීමෙන් පසුව පැවති උත්සවය අමතා ඇමැතිවරයා මේ අදහස් පළ කළේය.

“ඉතා ඉහළින් විනයක් තිබුණු අපේ රටේ අද විනය බොහොම වේගයෙන් පිරිහියනවා. අද මේ රටේ වැඩිහිටි නිවාස සංඛ්‍යාව දිනෙන් දින වැඩිවෙමින් තියෙනවා. මේ වැඩිහිටි නිවාසවල වැඩිවශයෙන් ඉන්නෙ දරුවන් හැදූවැඩූ දෙමාපියන්, විශේෂයෙන්ම වැඩිහිටි නිවාසවල ඉන්න අම්මලාගෙන් සියයට අසූ පහකට වඩා දරුවන් හදාවඩා ගත්ත අයයි. මෙවැනි අයගේ සැඳෑ කාලය වැඩිහිටි නිවාසයකට වැටීම ඉතාම කනගාටුදායක තත්ත්වයක් වෙනවා, යැයිද හෙතෙම පැවැසීය.
ලංකාවේ ළමා අපයෝජන, ළමා දූෂණ, ළමා ගැබ් ගැනීම් හා වීදි දරුවන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කළහොත් දශක ගණනාවක සිට තත්ත්වය ඉතාම බරපතළයි. අපේ වටිනාම සම්පත දරුවන් නම්, අපේ අනාගතය දරුවන් නම් ඒ ගැන හිතන්න ඕන කාලය පැමිණ තියෙනවා. යැයිද රාජ්‍ය ඇමැතිවරයා පැවැසීය.

(Aruna)