Tuesday, July 08, 2025
Follow Us
වරායේ සිරවූ ලූණු තොග කුණුවීමේ අවදානමක

මේ වන විට වෙළදපොලේ බීලූණු මිල අසීමිත ලෙස ඉහළ ගොස් තිබෙනවා. නෙත් නිවුස් කළ සොයාබැලීමකදී හෙළි වුණේ බී ලූණු තොග මිල රුපියල් 300 ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බවයි. ඊට ප්‍රධාන හේතුව ලෙස වාර්තා වුණේ පවතින ඩොලර් අර්බුදයත් සමඟ බීලූණු අඩංගු බහාලුම් ද වරාය තුළ ගොඩගැසී තිබීමයි.

මෙම බහාලුම් මුදාගැනීමට ප්‍රමාදවීම හේතුවෙන් ඒවායේ අඩංගු බීලූණු කුණුවීමේ අවදානමක්ද මතුවීම මෙලෙස මිල වැඩිවීමට හේතුවී තිබෙනවා. මේ වන විටත් සීනි බහාලුම් 300 ක්, සහල් බහාලුම් 250 ක්, සුදුලූණු බහාලුම් 20 ත් 30 ත් අතර ප්‍රමාණයක් සහ බීලූණු බහාලුම් 15 ත් 20 ත් අතර ප්‍රමාණයක් ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු බහාලුම් 1,000 කට අධික ප්‍රමාණයක් වරාය තුළ ගොඩගැසී තිබෙනවා.

මසක් තුළ මෙරටට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලත් බහාලුම් 6,000 ක් පමණ ආනයනය කෙරෙනවා. ඒ සදහා අවශ්‍ය වන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 60 ක් පමණ වන බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මේ වන විට වෙළදපොලේ සීනි කිලෝවක් අලෙවි වන්නේ ද රුපියල් 128 ක් පමණ මුදලකටයි. එහෙත් ප්‍රමාදයකින් තොරව පැමිණි විගස බහාලුම් ගොඩබෑමට අවස්ථාව හිමිවන්නේ නම් සීනි කිලෝවක් රුපියල් 115 ක් වැනි මුදලකට ලබාදී්මට හැකි බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් පවසන්නේ. මෙලෙස මිල වැඩිවීමට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ අදාළ බහාලුම් සඳහා ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවීමයි.

(Neth)