Wednesday, July 09, 2025
Follow Us
එක් ඔමික්‍රෝන් ආසාදිතයෙකු සමාජ ශාලාවල සැරිසරූ බවට තොරතුරු - PHI සංගමය කියයි

මෙරටින් වාර්තා වූ ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් තිදෙනා සම්බන්ධයෙන් මේ දක්වා තමන් වෙත කිසිදු තොරතුරක් ලබාදී නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා. ඔහු සඳහන් කළේ එලෙස වාර්තා වූ එක් ආසාදිතයෙකු ඉන්දියාවේ සිට පැමිණි අයෙකු බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.

එමෙන්ම එම ආසාදිතයා මෙරට දින දෙකක් කාලය ගත කර ඇති බවත්, ඔහු සමාජ ශාලාවල සැරිසරා ඇති බවට ද නිල නොලත් තොරතුරු වාර්තා වන බවයි සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ,

" ඊයේ දිනයේදී ඔමික්‍රෝන් ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගෙන ඇති බව මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා. නමුත් මේ දක්වා අපිට වසංගත රෝග විද්‍යා අංශයෙන් හෝ කිසිදු රසායානාගාරයක් මගින් නිල දැනුම් දීමක් සිදුකර නැහැ.

නිල නොවන තොරතුරු අනුව මේ තිදෙනාගෙන් එක් අයෙක් ඉන්දියාවේ සිට මෙරටට පැමිණි අයෙකු බවයි වාර්තා වන්නේ. ඔහු ඉකුත් 09 වෙනිදා මෙරටට පැමිණ ඇත්තේ, ඒ වාගේම ඔහු එන්නත් දෙකම ලබා ගත් අයෙක්. ඒ වගේම ඔහු දිවයිනට පැමිණීමට පැය 72කට පෙර ගත් PCR වාර්තාවක් මගින් කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට තහවුරු කර තිබෙනවා.

ඒ පුද්ගලයා දින දෙකක් මෙරට සමාජ ශාලාවල සැරිසර තිබෙන බවට යම් යම් නිල නොවන තොරතුරු වාර්තා වෙනවා. මෙම පුද්ගලයා නැවත දිවයිනෙන් පිටව යන්න හදනවිටයි ඔහු කොවිඩ් ආසාදිතයෙකු කියා හඳුනා ගෙන තිබෙන්නේ.

මේකත් එක්ක අපිට අවධාරණය වෙන්නේ රට තුලට පැමිණෙන විදේශිකයින් PCR පරීක්ෂණ වලට ලක්කිරීම සහ ඔවුන් නිරෝධායනයට ලක් කිරීමට අවශ්‍ය වන බවයි. අපි බලාපොරොත්තු වෙනවා දැන්වත් බලධාරීන් ඒ සම්බන්ධයෙන් අවදානය යොමු කරයි කියලා මේ ගැන."

(Neth)