Wednesday, July 09, 2025
Follow Us
යුගදනවි ගිවිසුමට එරෙහි පෙත්සම් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන්න - නීතිපති ඉල්ලයි

යුගදනවි බලාගාරය අයත් සමාගමේ රජය සතු කොටස් ඇමරිකානු සමාගමකට විකිණීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලමින් ගොනුකර ඇති පෙත්සම් සියල්ල විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපති සංජය රාජරත්නම් මහතා ඊයේ (16) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ, මෙම පෙත්සම් සම්බන්ධයෙන් මූලික විරෝධතා කිහිපයක් ගොනු කරමිනි.

මෙම පෙත්සම් ගොනුකර ඇත්තේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති කාලය ඉක්මවා ගිය පසුව බවත් බලශක්තිය සම්බන්ධ කාරණාවලදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීමට අවශ්‍ය නොවන බවට ප්‍රතිපාදනයක් පවතින හෙයින් මෙම පෙත්සම් සඳහා කිසිදු නීතිමය පදනමක් නොමැති බවත් නීතිපතිවරයා සිය මූලික විරෝධතා වලින් පෙන්වා දී තිබිණි.

එසේම වග උත්තරකාර නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය මෙම පෙත්සම්වල වග උත්තරකරුවන් වශයෙන් නම් කර නොමැති වීම දෝෂයක් බවත් පෙන්වා දී ඇති නීතිපතිවරයා යුගදනවි සමාගමේ කොටස් වෙනත් සමාගමකට පැවරීමේ තීරණය ව්‍යාපාරික ගනුදෙනුවක් වන හෙයින් එය අභියෝගයට ලක්කිරීමට හැකියාවක් නොමැති බවත් නීතිපතිවරයා වැඩිදුරටත් සිය මූලික විරෝධතාවලින් ප්‍රකාශ කර ඇත.

නීතිපතිවරයාගේ මූලික විරෝධතාවලින් අනතුරුව පෙත්සම්කාර පාර්ශ්වවල නීතීඥයින්ට දේශන ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය නියම කළ අතර පෙත්සම් සලකා බැලීම අද (17) දිනයේදීත් සිදුකිරීමට නියමිතය.

(LNW)