Wednesday, July 09, 2025
Follow Us
තැන තැන පිපිරෙන දියර පොහොර ප්‍රමිතිය ගැන ප්‍රශ්ණයක්

කාබනික දියර පොහොර අඩංගු කෑන් සහ බූලි පුපුරායාම සම්බන්ධයෙන් මේ වනවිට විශේෂ පරීක්‍ෂණයක් ක්‍රියාත්මක බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසනවා. එහි අධ්‍යක්‍ෂ චන්දන ලොකුහේවගේ පැවසුවේ දියර පොහොර මෙන්ම ඒවා බහාලු කෑන් සහ බූලිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ද සොයාබැලීමක් සිදු කරන බවයි.

මෙම කාබනික දියර පොහොර නිෂ්පාදනය කෙරෙන නිෂ්පාදකයින් පවසා ඇත්තේ දියර පොහොර ඇසුරුම් සදහා ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් බූලි සහ කෑන් නොමැතිවීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවයි. ප්‍රමිතියෙන් යුත් බූලි සහ කෑන් ඉහළ මිලකින් යුක්ත බවත් එවැනි අසුරුම් භාවිත කළ හොත් එහි වියදම දරා ගැනීමට සිදුවන්නේ ගොවිජනතාවට බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා.

ජාතික පොහොර ලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ දියර පොහොර නිෂ්පාදනයේදී, ගබඩා කිරීමේදී සහ ප්‍රවාහනයේදී නිසි ප්‍රමිතීන් අනුගමනය කරන්නැයි සියළු නිෂ්පාදකයින් දැනුවත් කර ඇති බවයි.

කෙසේවෙතත් මෙලෙස පුපුරා යන දියර පොහොරවල නිෂ්පාදන ප්‍රමිතිය සම්බන්ධයෙන් ද ගැටලුවක් පවතින බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. එහි ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ නිවැරදි ප්‍රමිතියට මෙම දියර පොහොර නිෂ්පාදනය කළේ නම් මෙලෙස පුපුරායාමක් හෝ ඉන්පසු ඇතිවන දැඩි දුර්ගන්ධයක් ඇතිවීමට කිසිදු ඉඩක් නොමැති බවයි. මෙලෙස පුපුරායන්නේ කාබනික දියර පොහොර විශේෂයක් බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. ඒවා ජෛව දියර පොහොර බවට පත් කිරීමට තවත් ක්‍රියාවලියක් සිදු කළ යුතු බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ.

කෙසේවෙතත් මෙලෙස පුපුරා ගොස් තිබුණේ ද කෘෂිකර්ම අමාත්‍යංශයේ අනුමැතියලත් පෞද්ගලික ආයතනයකින් සකසා තිබූ දියර පොහොරයි.

(Neth)