Wednesday, July 09, 2025
Follow Us
වාර්තා ප්‍රමාදවීමෙන් ගෑස් නැවක් දින 5 ක් මුහුදේ

මෙරටට ගෑස් රැගෙන පැමිණි නෞකාවක ඇති ගෑස් තොගය ගොඩබැමේ ගැටලුවක් මතුව තිබෙනවා. ඒ, එහි සාම්පල් පරීක්ෂණ ප්‍රතිඵල ප්‍රමාද වීම හේතුවෙන්. මීට දින 5කට පෙර අදාල නෞකාවෙන් ගෑස් සාම්පල ලබාගෙන ඇතත් මේ වනතෙක් ඊට අදාළ වාර්තාව නිකුත් කර නැහැ. මේ හේතුවෙන් අදාළ නෞකාව, මේ වන විට උස්වැටකෙයියාව හාල් දිය වත්ත මුහුදු තීරයෙන් නැංගුරම්ලා තිබෙන බවයි නෙත් නිවුස් කළ සොයාබැලීමේදී අනාවරණ වුණේ.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියෙන්ද විමසීමක් කළා. එහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක පැවසුවේ අදාළ සාම්පලවල ප්‍රතිඵල මේ දක්වා තම අධිකාරියට ලැබී නොමැති බවයි. එම සාම්පලවල ගැටළුවක් වෙතොත් වහාම නෞකාව ආපසු හරවා යවන බවයි ඔහු සදහන් කළේ. කෙසේවෙතත් ඇතැම් වාර්තාවල දැක්වුණේ ලිට්‍රෝ ගෑස් සමාගම මෙරටට ගෙන්වා ඇති ගෑස් නැවේ ඇති ගෑස් ප්‍රමිතියෙන් තොර බවට අනාවරණ වී ඇති බවයි.

මේ අතර, ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කමිටුව මේ වනවිට අදාළ සියළු ප්‍රකාශ සටහන් කරගැනීම අවසන් කර තිබෙනවා.

ඊට අදාළ වාර්තාව හෙට වනවිට ලබාදීමට හැකි වනු ඇති බවයි එහි ප්‍රකාශකයෙකු පැවසුවේ. ගෘහස්ථ ගෑස් ආශ්‍රිත පිපිරීම් සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති විමර්ශන කමිටුව විසින් ඉකුත් දින කිහිපයේ අදාළ සිද්ධීන්වලට මුහුණපෑ පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තා.

පාර්ශව 40කගෙන් ලබාගත් ප්‍රකාශ ඊට ඇතුළත්. කමිටු නියෝජිතයකු නෙත් නිවුස් වෙත කියාසිටියේ ගෑස්වල සංයුතියේ වෙනසක් හේතුවෙන් පිපිරීම් සහ ගිනි ගැනීම් සිදුවන බවට මූලික පරීක්‍ෂවලදී හෙළි වී ඇති බවයි.

(Neth)