Wednesday, July 09, 2025
Follow Us
මේකද සෞභාග්‍යයේ දැක්ම ? නත්තලත් බාල්දු කරනවා - කාදිනල් හිමියන්

ආගම කවදා හෝ දේශපාලනයට යටවන්නේ නම් එය ආගම පාවාදීමක් බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

ආගමික නායකත්වය සැම විටම ස්වාධීන විය යුතු බවත් දේශපාලනයට යටවී ආගමික ප්‍රතිපත්ති ඉවත නොදැමිය යුතු බවයි කොළඹ අගරදගුරු හිමිපාණෝ අද (12) බෝල්ලන ප්‍රදේශයේ දේවස්ථානයක පැවති දේව මෙහෙයකට එක්වෙමින් අද අවධාරණය කර සිටියා.

අද රටේ පූජ්‍ය පක්ෂය දේශපාලන පක්ෂ සමඟ අසුන් ගැනීම අනුවණ ක්‍රියාවක් නොවන බව පෙන්වා දුන් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, ආගමික නායකයින්ට දේශපාලන පක්ෂ නායකයන් විය නොහැකි බවත්, ඇත්ත වශයෙන්ම දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඈත් විය යුතු බවත් ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කොළඹ අගරදගුරු හිමිපාණන් ප්‍රකාශ කළේ සමාජය හමුවේ තම ආගමට කරන ද්‍රෝහිකමක් බැවින්, පවතින ඕනෑම ලාභයක් සඳහා ආගමික නායකයින් දේශපාලන පක්ෂ නායකයින්ට හිස නැමීම නොකළ යුතු බවයි.

“දේශපාලන නායකයන් ආගමට උඩින් නැහැ. දේශපාලන නායකයින් තමන්ගේ දේශපාලන බලය ශක්තිමත් කර ගැනීමට ආගමික නායකයන් යොදා ගන්නවා නම් එය එම ආගමට කරන විශාල අපහාසයක්” යැයිද ඔහු ප්‍රකාශ කළේ.

මම ආගමික නායකයෙක්, දේශපාලන වාසි සහ ලාභ ප්‍රයෝජන සඳහා මගේ ස්වාධීනත්වය පාවා දෙන්නේ නම් මම ලැජ්ජා විය යුතු බව කොළඹ අගරදගුරු හිමියෝ සඳහන් කර සිටියේ.

එපමණක් නොව අද ශ්‍රී ලංකාවාසී ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති බවත්, ඔවුන් තම ආගමික මෙන්ම දේශපාලන නායකයින් විසින් අතහැර දමා ඇති බවක් දැනෙන බව ද අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පෙන්වා දුන්නා.

මේ රට බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ ධාර්මික රටක් බව අවධාරණය කළ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ බුදු රජාණන් වහන්සේගේ දහම් දෙසුමට අනුව එම ධර්මය මේ රට තුළ ජීවමානව තබා ගැනීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව ප්‍රකාශ කර සිටියේ.

"ඕනෑම ආගමක් අදහන්නන් වශයෙන්, අපි මෙම ආගමික මූලධර්ම ආරක්ෂා කිරීමට කැපවිය යුතුය," ඔහු පැවසීය.

එපමණක් නොව, සංචාරක අමාත්‍යාංශය විසින් ඇතැම් හෝටල් සහ ආපනශාලාවලට මත්පැන් අලෙවි කිරීම සඳහා අනුමැතිය ලබාදී ඇති බවට පුවත්පත් වාර්තා කිහිපයක් උපුටා දක්වමින් කොළඹ අගරදගුරුවරයා නත්තලේදී මිනිසුන් බීමත්ව සිටිනවාට රජයට අවශ්‍ය දැයි ප්‍රශ්න කර සිටියා.

" නත්තල් දවසට මත්පැන් විකුණන්න සංචාරක අමාත්‍යාංශයේ අනුමත හෝටල්වලට අවසර දෙන්න කියලා ඉල්ලලා. හොඳයි නේද?. නත්තලට බීලා බීලා මැරෙන්න. මේකද ආසියාවේ ආශ්චර්ය. මේකද සෞභාග්‍යයේ දැක්ම. නත්තලත් බාල්දු කරනවා. සංචාරක අමාත්‍යාංශය භාර ඇමතිතුමා මේ පළාතේ කෙනෙක් නේ. එයා ඒක වටහා ගන්න ඕනේ. වෙසක් උත්සවයට ඒක තහනම් නම් නත්තලටත් ඒක තහනම් විය යුතුයි. ආගම කියන්නේ පාටි දැමීම නෙමෙයි."

"2019 අප්‍රේල් 21 සිදුවූ ඒ මහා විනාශයට තාම හරි ක්‍රියාකාරීත්වයක් අපි දකින්නේ නෑ. මහමොළකාරයෝ තාම නිදැල්ලේ කියලා අපිට හැඟෙනවා. ඒ අය ගැන පාස්කු කොමිෂන් වාර්තාවේ නම්වලින්ම සඳහන් කරලා තියෙනවා. ඒ එක්කෙනෙක්ගෙන්වත් තාම ප්‍රශ්න කරලා නෑ. නමුත් නාටකයක් රඟපානවා."

"ඔය එක දේශපාලන නායකයෙක්වත් අපි උගන්වන දර්ශනය තරම් උසස් නෑ. ඒ පැත්තෙන් මේ පැත්තට හොරා කියනවා. මේ පැත්තෙන් ඒ පැත්තට හොරා කියනවා. ඒ නිසා අපි සමාජය පිරිසිදු කරමු. ආදරය පතුරවමු." කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කර සිටියා.

(Neth)