Friday, May 10, 2024
Follow Us
පාස්කු ඉරිදා ප‍්‍රහාරයට අදට මාසයයි - රට ආරක්‍ෂිත බවට සහතිකයක්

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල වී අදට (21) මාසයක් වනවා. ඉකුත් අපේ‍්‍රල් 21 වැනිදා කොළඹ තරු පන්තියේ හෝටල් 03කට සහ දේවස්ථාන 03කට ත‍්‍රස්තවාදීන් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කරනු ලැබුවා. ජාතික තව්හිද් ජමාද් සංවිධානය මෙම ප‍්‍රහාරවලට සම්බන්ධ බවටයි පසුව තහවුරු වුණේ. මෙම අවාසනාවන්ත ප‍්‍රහාරයෙන් පුද්ගලයින් 253දෙනෙකුට ජිවිත අහිමිවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. තුවාල ලැබූ සංඛ්‍යාව 485කට අධිකයි.

මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ගතවු කාලය තුළ රට පුරා විශේෂ සෝදිසි මෙහෙයුම් මාලාවක් දියත් කෙරුණු අතර එහිදී ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් 89දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ඉන් 69දෙනෙකු කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේත්, සෙසු 20දෙනා ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයේත් රඳවා ගෙන තවදුරටත් ප‍්‍රශ්න කෙරෙනවා.

ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාවෙන් පසු රටේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා ති‍්‍රවිධ හමුදාව සහ පොලීසිය එක්ව රට පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද දියත් කළා. පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් මාසයක් ගතවන විට රටේ ආරක්ෂාව තහවුරු කර ඇති බවයි යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසන්නේ. රටේ පුරවැසියන්ගේ මෙන්ම දේපළවලද ආරක්ෂාව වෙනුවෙන් ති‍්‍රවිධ හමුදාව තවදුරටත් කැපවී සිටින බව වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු මේ වනවිට ජන ජීවිතය පවත්වාගෙන යාම ඉතා සතුටුදායක ලෙස වර්ධනය වී ඇති බවයි ආරක්ෂක අංශ පවසන්නේ. වෙසක් සමයේ ද ජනතාව ආගමික ස්ථාන වෙත ගැටලූවකින් තොරව පැමිණි බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් විපතට පත් පවුල් වෙත තවදුරටත් අදාළ ප‍්‍රදේශවල දේවස්ථාන කේන්ද්‍ර කර ගනිමින් වැඩසටහන් කි‍්‍රයාත්මක වනවා. ප‍්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයින් වෙනුවෙන් ලබන ඉරිදා විශේෂ දේවමෙහෙයක් පවත්වන බවයි ජනමාධ්‍ය පිළිබඳ කොළඹ පදවි අධ්‍යක්‍ෂ එඞ්මන් තිලකරත්න පියතුමන් සඳහන් කළේ.

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ක්ෂේත‍්‍ර රැසක කටයුතු බිඳ වැටුණා. සංචාරක ක්ෂේත‍්‍රය ඒ අතරින් ප‍්‍රධානයි. ප‍්‍රහාරයෙන් පසු සංචාරකයින්ගේ පැමිණීම සියයට 70කින් පමණ පහත වැටුණා. සංචාරක ක්ෂේත‍්‍රයට සිදුවූ පාඩුව අමෙරිකානු ඩොලර් මිලියන 750ක් බවටයි ගණන් බලා ඇත්තේ.

ඒ අනුව බිඳ වැටුණු සංචාරක කර්මාන්තය යළි ගොඩ නැගීම සඳහා කඩිනම් පියවර රැසක් මේ වන විට ගෙන ඇති බවයි ශ‍්‍රි ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයේ සභාපති කිෂූ ගෝමස් සඳහන් කළේ. කෙසේවෙතත් තවමත් සංචාරකයින්ගේ පැමිණීම සම්බන්ධයෙන් සතුටුදායක නොවන බවද සඳහන් කළා. එළඹෙන සති එකහමාරක කාලය තුළ සංචාරකයින් සඳහා දන්වා තිබූ උපදෙස්වල ප්‍රබලත්වය අඩු කිරීමට ප්‍රධාන රටවල් කිහිපයක තනාපතිවරුන් ඉඟි පළ කර ඇති බවද සඳහන් කළා.

ඉදිරියේදී ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් පනවා ඇති සංචාරක තහනම් ඉවත් කිරීමට අදාළ රටවල් පියවර ගත හොත්, එය සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා වඩාත් පහසුවක් වනු ඇති බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය හේතුවෙන් මෙරට ආර්ථිකයටද දැඩි බලපෑමක් එල්ල වුණා. අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක වෙළදාමද සියයට 50 කින් පමණ අඩුවී ඇති බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයකරුවන්ගේ සහ වෙළදුන්ගේ සංගමය ප‍්‍රකාශ කළේ. මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරය හේතුවෙන් ආර්ථිකයට සිදුවූ බලපෑම අවම කර රට ගොඩනැගීම සදහා පැහැදිලි කෙටිකාලීන මෙන්ම දිගු කාලීන සැලසුම්ද අත්‍යවශ්‍ය බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

(Neth)