Wednesday, July 02, 2025
Follow Us
ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ (CII) ප්‍රධාන විධායක නිලධාරී නියෝජිත පිරිස සහ අගමැතිනිය අතර හමුවක්

ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ (CII) ප්‍රධාන විධායක නිලධාරී (CEO) දූත පිරිසක් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පසුගියදා (30) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදු විය.

විශේෂයෙන් ම ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සහ වර්ධනය කිරිම සඳහා දෙරටේ පවතින අඛණ්ඩ සහයෝගිතාව පිළිබඳව අග්‍රාමාත්‍යවරිය මෙහිදී සිය ප්‍රසාදය පළ කළා ය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මෑතකාලීන ඉන්දීය සංචාරය හරහා දෙරටේ ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් වූ බව ඉන්දීය දූත පිරිස විසින් මෙහිදී තවදුරටත් තහවුරු කරන ලදි. තාක්‍ෂණය, නිෂ්පාදන, අධ්‍යාපනය, නවෝත්පාදන, ව්‍යවසායකත්වය, කෘෂිකර්මය, බලශක්තිය සහ සංචාරක ව්‍යාපාරය වැනි ප්‍රධාන අංශ හරහා වෙළෙඳ සහ ආයෝජන අවස්ථා පුළුල් කිරීම පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.

තරුණ සවිබල ගැන්වීම්, කාන්තා ව්‍යවසායකයින් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක (SME) අංශ සඳහා සහාය වීමට සාධාරණ ආයෝජන උපාය මාර්ගවල ඇති වැදගත්කම පිළිබඳ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය තවදුරටත් අවධාරණය කළා ය.

මෙම අවස්ථාවට ඉන්දීය ඉහළ පෙළ ප්‍රධාන විධායක නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහභාගි වූ අතර ශ්‍රී ලංකා දූත පිරිසට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ දකුණු ආසියානු සහ සාර්ක් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් නිලූක කදුරුගමුව මහතා සහ එම අමාත්‍යංශයේ දකුණු ආසියානු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රශාන්ති ක්‍රිෂ්ණමූර්ති මහත්මිය ඇතුළත් වූහ.