Friday, May 10, 2024
Follow Us
සහනදායි පදනම මත මෝටර් රථ ලබාගැනීම සඳහා බලපත‍්‍ර මත ණයවර ලිපි විවෘත කිරීමට දැන් නැවත අවස්ථාව

සහනදායි පදනම මත මෝටර් රථ ලබාගැනීම සඳහා බලපත‍්‍ර මත ණයවර ලිපි විවෘත කිරීමට දැන් නැවත අවස්ථාව ලබාදී තිබෙනවා.

මෙම කටයුතු කෙටි කලක් සීමා කර තිබුණේ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නියමයන්ට අනුවයි. අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල දිගින් දිගටම අවප‍්‍රමාණය වීම සැලකිල්ලට ගෙන අදාළ සීමා කිරීම් ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කෙරුණු බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දුන්නේ.

මේ වනවිට, පැවති නරක තත්ත්වය යම් දුරකට සමනය වෙමින් ඇති නිසා සීමා ලිහිල් කර ඇතැයි විශ්වාස කළ හැකි බවද ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

මේ අනුව රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ අංක 22/99 යටතේ ඉකුත් වසරේ දෙසැම්බර් 31 හෝ ඊට පෙර නිකුත් කර ඇති බලපත‍්‍ර සඳහා ණයවර ලිපි විවෘත කිරීම ඉකුත් මැයි 01 වැනිදායින් පසුව සිදු කළ හැකියි.

රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ අංක 22/ 99 යටතේ මෙම වසරේ නිකුත් කර ඇති බලපත‍්‍ර සඳහා ණයවර ලිපි විවෘත කළ හැක්කේ ලබන ජුනි මස 01 වැනිදා හෝ ඉන් පසුවයි.

වෙළඳ හා ආයෝජන ප‍්‍රතිපත්ති චක‍්‍රලේඛ අංක 1 / 2018 සහ එහි සංශෝධන යටතේ නිකුත් කර ඇති බලපත‍්‍ර සඳහා ද විදේශ කටයුතු අමාත්‍යංශයේ චක‍්‍රලේඛ අංක 210 යටතේ නිකුත් කර ඇති බලපත‍්‍ර සඳහා ද ණයවර ලිපි විවෘත කිරීමට මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ චක‍්‍රලේඛ යටතේ ඉකුත් වසරේ සැප්තැම්බර් 30 වැනිදා හෝ ඊට පෙර නිකුත් කර ඇති බලපත‍්‍ර සඳහා ලබන ජුනි පළමු වැනිදායින් පසු ණයවර ලිපි විවෘත කළ හැකියි. අදාළ චක‍්‍රලේඛ යටතේ ඉකුත් වසරේ සැප්තැම්බර් 30 වැනිදාත් නොවැම්බර් 30 වැනිදාත් අතර නිකුත් කෙරුණු බලපත‍්‍ර සඳහා ණයවර ලිපි විවෘත කළ හැක්කේ ලබන ජූලි පළමු වැනිදා හෝ ඊට පසුවයි.

ඉකුත් වසරේ සැප්තැම්බර් 30 වැනිදාත් මෙම වසරේ පෙබරවාරී 28 වැනිදා අතර නිකුත් කෙරුණු බලපත‍්‍ර සඳහා ලබන අගෝස්තු මස පළමු වැනිදායින් පසු ණයවර ලිපි විවෘත කළ යුතු වනවා.

අදාළ චක‍්‍රලේඛ යටතේ මෙම වසරේ මාර්තු සිට ජූනි 30 වැනිදා දක්වා නිකුත් කෙරුණු හෝ නිකුත් කරන බලපත‍්‍ර සඳහා ණයවර ලිපි විවෘත කළ හැක්කේ ලබන සැප්තැම්බර් පළමු වැනිදායින් පසුවයි.

දේශීයව එකලස් කරන වාහන මිල දී ගැනීමේදී බලපත‍්‍ර මත වාහන ලබාගැනීම සඳහා පළමු ගෙවීම සිදු කිරීම ද ඉහත මාර්ගෝපදේශ යටතේ සිදු කළ යුතු බව වෙළඳ හා ආයෝජන ප‍්‍රතිපත්ති දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

(Neth)