Friday, May 10, 2024
Follow Us
මිනීමරුවන්ට විරුද්ධව කටයුතු කරන්න ඕනෑ මිනීමරුවන්මයි - හමුදාපති

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන් සිහිකරමින් විශේෂ දේවමෙහෙයක් යුධ හමුදා ක්‍රිස්තියානු සංගමය විසින් පසුගිය 17 වනදා පවත්වනු ලැබිණි.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් බම්බලපිටිය ශාන්ත මරියා දේවස්ථානයේදී පැවති මෙම විශේෂ දේවමෙහෙයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ හමුදාපති මහේෂ් සේනානායක මහතාය.

හමුදාපතිවරයාට මෑතක සිට ගස් ගල් යට සිට පවා ජාතිය ඇමතීමේ පුරුද්දක් ඇතිවී තිබේ. ඒ අනුව දේවමෙහෙයෙන් අනතුරුව අසල පඩිපෙළක සිට රැස්ව සිටි 200ක පමණ හමුදා සෙබළුන් අමතමින් මහේෂ් සේනානායක මහතා කතාවක් පවත්වා ඇත.

"මිනීමරුවන්ට විරුද්ධව කටයුතු කරන්න ඕනෑ මිනීමරුවන්මයි. මං බුලත්වත්තව ගත්තේ ඒකටයි" යනුවෙන් හමුදාපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

මේ ගැන අප කිසිවක්ම කියන්නේ නැත. අමුතුවෙන් කියන්නට දෙයක් හමුදාපතිවරයා ඉතිරි කර නැති බවත් පෙනෙනු ඇත.

කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීම, උපාලි තෙන්නකෝන්ට පහරදීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධයැයි චෝදනා එල්ල වී ඇති මේජර් බුලත්වත්ත මිනීමරුවකු බව හමුදාපතිවරයා විසින්ම පිළිගැනීම දැනට ප්‍රමාණවත්ය. ඒ පිළිබඳව අපි හමුදාපති මහේෂ් සේනානායක මහතාට ස්තූතිවන්ට වන්නෙමු.

(LNW)