Thursday, April 25, 2024
Follow Us
මදූෂ්ගේ තවත් ගෝලයෙක් කොටු - සැකකරු උපාධිදාරියෙක්

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකදූරේ මදූෂ්ගේ තවත් ගෝලයෙකු ගම්පොළ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු මීට පෙර මීනී මැරුම්, මංකොල්ලකෑම් සහ මුදල් වංචා රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබු අයෙකු බවයි පොලීසිය පැවසුවේ.

ඉකුත් 14 වැනිදා පැල්මඩුල්ල මැණික් ව්‍යාපාරිකයෙකුට තර්ජනය කරමින් රුපියල් ලක්ෂ 50ක කප්පමක්ද මොහු ඉල්ලා තිබෙනවා. ඒ මාකදුරේ මදූෂ්ට ඇප ලබා ගැනීම සඳහා මුදල් අවශ්‍ය බව පවසමින්.

පසුව එම මැණික් ව්‍යාපාරිකයාගේ ඉල්ලීම මත රුපියල් ලක්ෂ 05ක මුදලක් කප්පම් වශයෙන් ලබා ගැනීමට මෙම සැකකරු එකඟ වී තිබෙනවා. ප‍්‍රථමයෙන් සිය ගිණුමට රුපියල් පනස් දහසක මුදලක් බැර කරන ලෙසයි සැකකරු මැණික් ව්‍යාපාරිකයාට ප‍්‍රකාශ කර ඇත්තේ. මේ පිළිබඳව පොලිසියට කළ පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කහවත්ත පොලිසියේ විශේෂ විමර්ෂණ ඒකකය මෙහෙයුමක් ආරම්භ කලා.

ඒ අනුව සැකකරු පෞද්ගලික බැංකුවකින් මුදල් ලබා ගත් අවස්ථාවේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගත්තේ යක්කල ප‍්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි උපාධිදාරියෙක්. සැකකරු පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

(Neth)