Friday, April 19, 2024
Follow Us
දණ්ඩ නීතිය කෙසේවෙතත් බුද්ධ නීතියට අනුව සාෆි වැරදිකරු - රතන හිමි වදාරයි !

ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය කෙසේවෙතත් බුද්ධ නීතියට අනුව කුරුණෑගල රෝහලේ වෛද්‍ය සහාබ්දීන් සාෆි මහතා වඳ සැත්කම් චෝදනාව සම්බන්ධයෙන් වැරදිකරු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි විසින් ප්‍රකාශ කර තිබේ.

එහිමි මේ බව පවසා ඇත්තේ පසුගියදා කුරුණෑගල ඇත්කඳ විහාරයේ පැවති රැස්වීමකදීය.

රතන හිමි ඇතුළු පැලෝපීය විශේෂඥයින් මුලින්ම පැවසුවේ වෛද්‍ය සාෆි විසින් සිංහල බෞද්ධ මවුවරුන් 4000ක් වඳ භාවයට පත් කර ඇති බවකි. එහෙත් එපමණ පැමිණිලි සංඛ්‍යාවක් නොලැබීම නිසා දැන් රතන හිමි විසින්ම ගණන 900කට බස්වා තිබේ.

එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශනයේදී හෙළිවී තිබුණේ මේ පැමිණිලි 900 අතරිනුත් දරු ඵල නොමැතිවීම සම්බන්ධ පැමිණිලි ඇත්තේ 147ක් පමණක් බවයි. ඒ අතරින් 13 දෙනෙකු වෛද්‍ය විශේෂඥ කමිටුවට යොමු කර තිබුණු අතර එහිදී අනාවරණය වී තිබුණේ ඒ අතරිනුත් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කළ යුතු මට්ටමේ මවුවරුන් සිටින්නේ දෙදෙනෙකු පමණක් බවත් ඉතිරි පැමිණිලි අසත්‍ය ඒවා බවත්ය.

මුලදී මෙය වෛද්‍ය විද්‍යාත්මකව ඔප්පු කරන බව කියමින් දුම්මල වරම අතට ගත් රතන හිමි ඉන්පසුව කීවේ මෙය වෛද්‍ය විද්‍යාත්මකව නොව සමාජ විද්‍යාත්මකව ඔප්පු කළ යුතු බවකි.

මේ අතර මෙම වඳ සැත්කම් නාටකයට සම්බන්ධ පාර්ශ්වවල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පටන් මහේස්ත්‍රාත්වරයා දක්වා උදවියගේ ඥාති සම්බන්ධතා, ආයතනික සම්බන්ධතා සහ දේශපාලන සම්බන්ධතා ද කරළියට පැමිණි පසුව රතන හිමි දැන් රටේ පවතින නීතියත් අතැර දමා මෙය බුද්ධ නීතියට අනුව ඔප්පු කිරීමට උත්සාහ දරමින් සිටී.

මේ, බුදුන්ටත් නිගා දෙමින් අමු ජාතිවාදයම පමණක් සිය එකම දේශපාලන පිළිසරණ කරගත් තක්කඩිකමේ තරමය !

වෛද්‍ය සාෆි සම්බන්ධ නඩුව අද (25) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතය.

(LNW)