Monday, February 09, 2026
Follow Us
මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනයට මුස්ලිම් මන්ත්‍රිවරුන්ගෙන් කරුණු 11ක්

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතෙහි සංශෝධනයට ලක්විය යුතු කරුණු ඇතුළත් යෝජනාවලියක් සකස් කර තිබෙනවා. මුස්ලිම් විවාහයකදී කාන්තා සහ පිරිමි පුද්ගලයාගේ වයස් සීමාව වයස අවුරුදු 18ක් දක්වා වැඩි කිරීමට අදාළ යෝජනාවක් ද එහි ඇතුළත්.

විවාහ ලියාපදිංචියේදී කාන්තාවගේ අත්සන අනිවාර්ය කිරීම ඇතුළු කරුණු 11කින් සමන්විතවයි අදාළ යෝජනාවලිය සකස් කර ඇත්තේ. අදාළ සංශෝධන ද ඇතුළත් කර මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය විය යුතු බවටයි පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත‍්‍රීවරුන් යෝජනා කර ඇත්තේ.

ඊට අදාළ යෝජනාවලිය අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල වෙත මෙම සතියේ භාරදෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ. එච්. එම්. ෆවුසි නෙත් නිවුස් වෙත කියා සිටියා.

අදාළ යෝජනා ද ඇතුළත් කරමින් සකස් කරන පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමෙන් පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇත්තේ.

(Neth)