Saturday, October 19, 2024
Follow Us
ගාමිණී සෙනරත්ගේ මිලියන 500 නඩුවේ තීන්දුව අගෝස්තු 08

ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවේ තීන්දුව අගෝස්තු 08 වනදා ප්‍රකාශයට පත් කරන බව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (09) දැනුම් දුන්නේය.

ඒ, එම නඩුව සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

විත්ති සහ පැමිණිලි දෙපාර්ශ්ව විසින් නඩුවට අදාළ ලිඛිත දේශන අද දිනයේ භාරදුන් අතර වැඩිදුර ලිඛිත දේශන ඇත්නම් ඒවා 12 වනදා ඉදිරිපත් කරන ලෙස ද විනිසුරු මඬුල්ල විසින් දෙපාර්ශ්වයට දැනුම් දෙන ලදී.

2014 පෙබරවාරි 01 - 2015 ජනවාරි 20 අතර කාලසීමාව තුළ ලිට්‍රෝ ගෑස් සමාගම විසින් කැන්විල් හෝල්ඩිං සමාගමට ලබාදුන් රුපියල් මිලියන 500ක් හෙලන්කො හොටෙල් ඇන්ඩ් ස්පා නමැති පුද්ගලික සමාගමක යෙදවීමෙන් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පවරා ඇති මෙම නඩුවෙන් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 24ක් යටතේ අධිචෝදනා පත්‍ර ඉදිරිපත් කර තිබේ.

හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සේදර සෙනරත්ට අමතරව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂක පියදාස කුඩාබාලගේ, නීල් බණ්ඩාර හපුහින්න සහ ලසන්ත බණ්ඩාර යන සෙසු විත්තිකරුවන් ලෙස නම් කර ඇත.

මෙම නඩුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ විභාගයට ගැනුණු පළමු නඩුව ද වේ.

(LNW)