Saturday, October 19, 2024
Follow Us
අලුගෝසුවෝ රහස් කුටියක: හිරගෙදරින් පිටවීම තහනම්

කොයි මොහොතක හෝ මරණ දඬුවම ක්‍රියාත්මක වීමේ සූදානමක් පවතින බවටත්, වැලිකඩ බන්ධනාගාරය ඊට සූදානම් වන බවටත් පෙනෙන්නට ඇතැයි බන්ධනාගාර නිලධාරීහු පවසති.

මරණ දඬුවමට භාජනය වන තැනැත්තන් සිව්දෙනාට අවශ්‍ය සිරඇඳුම් ආයිත්තම් මෙන්ම කඹය ඇතුළු උපකරණ වැලිකඩ සහකාර බන්ධනාගාර අධිකාරිවරයකුගේ භාරයේ කාර්යාල කාමරයක සුරක්ෂිතව තැන්පත් කර ඇතැයිද දැනගන්නට තිබේ.

මේ අතර අලුතින් බඳවාගත් අලුගෝසුවන් දෙදෙනා කවුරුන්ද යන්න කිසිවෙකුටත් නොදැනෙන පරිදි රහසිගත ස්ථානයක රඳවා සිටින අතර සෙසු නිලධාරීන්ගෙන් වෙන්කොට ඇති මෙම දෙදෙනාගේ අනන්‍යතාව හෙළි නොකිරීමට වගබලාගෙන ඇතැයිද පැවසේ. රහස් කුටියක රඳවා සිටින අලුගෝසුවන් දෙදෙනාට බන්ධනාගාරයෙන් පිටවීමද තහනම් කර තිබේ.

මේ වනවිට අලුගෝසුවන් දෙදෙනාට වැලිකඩ විශෝධන පුහුණු අංශයේ විශේෂ කාමරයක් වෙන්කොට ඇතැයිද ඔවුන් දෙදෙනා දිවා කාලයේදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ පසුවන බවද වාර්තාවේ.
එල්ලුම්ගහට නියම වන පුද්ගලයන් සිව්දෙනාගේ විස්තර කිසිවක් දැනගන්නට නැතත් ඒ පිළිබඳ නෛතික තත්ත්වය සහ බන්ධනාගාර නිත්‍ය නියෝග පිළිබඳව නිලධාරින් විමර්ශනයක නියැලෙන බවද කියති

(Lanka Leads)