Saturday, October 19, 2024
Follow Us
දුම්රිය වැඩවර්ජනයෙන් සියලු මගී දුම්රියන් ධාවනය නවතී

දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ හදිසි වැඩ වර්ජනය මේ වනවිට ද ක‍්‍රියාත්මකයි. ඔවුන් මෙම වර්ජනය ඊයේ (03) මධ්‍යම රාත‍්‍රියේ සිට ආරම්භ කළා. නෙත් නිවුස් අද (04) අලුයම කළ විමසීමක දී දුම්රිය පාලක මැදිරිය ප‍්‍රකාශ කළේ මධ්‍යම රාත‍්‍රියේ සිට මේ දක්වා කිසිදු දුම්රියක් ධාවනය නොවූ බවයි. ඊයේ මධ්‍යම රාත‍්‍රියට පෙර ගමන් ආරම්භ කළ රාත‍්‍රී තැපැල් දුම්රියන් පමණක් 
මේ වනවිට අදාළ දුම්රිය ස්ථානයන් වෙත ළඟා වෙමින් ඇති බවයි එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ.

බීමතින් රාජකාරී කළ වෘත්තීය සමිති ලේකම්වරයෙකුට එරෙහිව විනය පියවර ගත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට විරුද්ධව ප‍්‍රවාහන අමාත්‍යංශයේ බලධාරීන් විවිධ බලපෑම් කරන බවට පවසමිනුයි දුම්රිය වෘත්තීය සමිති මෙම වැඩ වර්ජනය ආරම්භ කළේ.

මෙම තත්ත්වය හේතුවෙන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවත් වෙනත් අයෙකු එම තනතුර සඳහා පත් කිරීමේ සූදානමක් ඇති බවත් ඔවුන් චෝදනා කරනවා. මෙම තත්ත්වය අවසන් වන තුරු දුම්රිය වර්ජනය නතර නොකරන බවයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්. ටී. විතානගේ නෙත් නිවුස් වෙත කියා සිටියේ.

දුම්රිය වෘත්තීය සමිති මීට පෙර ද ඉකුත් මාසයේ අග භාගයේදී ද වැඩ වර්ජනයක නිරත වුණා. ඊට හේතු වූයේ වැටුප් ගැටළුවක් ඇතුළු වෘත්තීය ඉල්ලීම් කිහිපයක්. පසුව එම වර්ජනය අවසන් කළ දුම්රිය වෘත්තීය සමිති සෑම සතියකම බ‍්‍රහස්පතින්දා මධ්‍යම රාත‍්‍රී 12.00සිට සිකුරාදා මධ්‍යම රාත‍්‍රී 12.00 තෙක් වැඩ වර්ජනයක් සිදු කිරීමට තීරණය කළා. ඒ සමගම ආණ්ඩුව පියවර ගත්තේ දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කිරීමටයි.

එසේ තිබියදී ද ඉකුත් බ‍්‍රහස්පතින්දා දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයක නිරත වුණා. කෙසේවෙතත් මෙම සතියේ සිට සතිපතා සිදු කරන එම වර්ජනය නතර කිරීමටයි දුම්රිය වෘත්තීය සමිති පෙරේදා (02) තීරණය කර තිබුණේ. ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට දුම්රිය වෘත්තීය සමිති යළි වැඩ වර්ජනයක් ආරම්භ කළේ එවන් තත්වයක් තුළයි.

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කර තිබියදීත් මගීන් අපහසුතාවට පත්වන පරිදි මෙලෙස යළි වැඩ වර්ජනයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් නෙත් නිවුස් ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ වෘත්තීය සමිතිවලට අභිමත පරිදි ඕනෑම අවස්ථාවක වැඩ වර්ජන සිදු කළ නොහැකි බවයි. වර්ජනය පිළිබඳ වෘත්තීය සමිති දැනුම් දීමක් සිදුකර නොමැති බවත් ගැටළුවට මැදිහත් වී කඩිනමින් විසඳුම් ලබාදීමට අපේක්ෂා කරන බවත් රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ප‍්‍රකාශ කළා. මීට අදාළ විශේෂ සාකච්ඡාවක් ප‍්‍රවාහන අමාත්‍යංශ බලධාරීන් සම` අද පෙරවරුවේ පැවැත්වෙන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

(Neth)