Wednesday, July 16, 2025
Follow Us
බංග්ලාදේශය T20 තරගාවලිය ජයගනී

ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවරට 20යි 20 තරඟාවලි ජයග්‍රහණයක් ලබාගැනීමට බංග්ලාදේශ කණ්ඩායමට අද (16) හැකිවුණි.

ඒ ශ්‍රී ලංකාව සමඟ පැවති තුන්වැනි සහ අවසන් විස්සයි විස්ස තරඟය කඩුලු 8කින් ජයගැනීමත් සමඟය.

එහිදි පසුගිය තරග දෙකේදී අසාර්ථක වූ අවිශ්ක ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්තනට අද තරගය අහිමි වෙද්දී කලකට පසුව දිනේෂ් චන්දිමාල්ට සහ කමිඳු මෙන්ඩිස්ට අවස්ථාව හිමිවුණි.

ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ඇරඹුවේ පැතුම් නිස්සංක සමඟින් කුසල් මෙන්ඩිස්ය. එහිදී ශ්‍රී ලංකා පළමු කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 6කට දැවීගියේය.

මෙම තරගයේදී යළි අසාර්ථක වූ කුසල් ජනිත් පෙරේරා ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවීගියේය.

වසර තුනහාමාරකට පසුව ජාත්‍යන්තර 20යි 20 තරගයක් ක්‍රීඩාකිරීමට අවස්ථාව හිමි වූ දිනේෂ් චන්දිමාල්ගේ ඉනිම ලකුණු 4කට සීමා වෙද්දී නායක චරිත් අසලංක ලකුණු 3කට දැවීගියේය.

එක් අන්තයක සිට හුදෙකලා ඉනිමක් ක්‍රීඩාකළ පැතුම් නිස්සංක ලකුණු 46ක් රැස කළේය.

කෙසේ වෙතත් කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිමට යම් ජීවයක් එක්කළ දසුන් ශානක අවසාන භාගයේදී සුපිරි පිතිහරඹයක නියැලෙමින් ශ්‍රී ලංකාවට වාසිදායක ලකුණු පුවරුවක් නිර්මාණය කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 132ක් ලෙස සටහන් වුණි.

දසුන් ශානක නොදැවී ලකුණු 35යි.

ලකුණු 133ක ඉලක්කයක් හඹායාම සඳහා බංග්ලාදේශ ඉනිම හුසේන් ඉමෝන් සහ ටැන්සිඩ් හසන් ආරම්භ කළේය.

කෙසේ වෙතත් නුවන් තුෂාර යොමුකළ පළමු පන්දුවෙන්ම හුසේන් ඉමෝන්ව දවා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුනි.

ශ්‍රී ලංකාවේ සියලුම බලාපොරොත්තු බිඳ දමමින් සුපිරි පිතිහරඹයක නිරත වූ ටැන්සිඩ් හසන් නොදැවී ලකුණු 73ක් රැස්කළේය.