Wednesday, July 16, 2025
Follow Us
"තීරණයක් ගතහැකි වගකිවයුතු නිලධාරීන් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට සම්බන්ධ වෙන්න" - අගමැතිනී

"සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් වූ මුදල් පිළිබඳව ප්‍රමාණාත්මක දත්ත ගෙනහැර දැක්වීමට වඩා එම ව්‍යාපෘති හරහා මෙතෙක් සිදු වූ ප්‍රතිලාභ හා බලපෑම් පිළිබඳව නිවැරැදි අවබෝධයෙන් කටයුතු කිරීම සහ ඒවායේ ප්‍රගතිය සමාලෝචනය කර ඉදිරිපත් කිරීම ඉතා වැදගත්" බව කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන වෘත්තිය පුහුණු අමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය සඳහන් කළාය.

කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම, අග්‍රාමාත්‍යතුමියගේ සහභාගිත්වයෙන්, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතාගේ මූලිකත්වයෙන්  ඊයේ (15) දින කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වු බව කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පෙන්වා දෙයි.

මෙහි දී විමධ්‍යගත අයවැය වැඩසටහන, ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන, බස්නාහිර පළාත් දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම, දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ කොළඹ දිස්ත්‍රික්කය තුළ යෝජිත ව්‍යාපෘති  වැඩසටහන්  යටතේ, 2025 වසර සඳහා යෝජිත ව්‍යාපෘතිවල මේ  වන විට ලබා ඇති ප්‍රගතිය පිළිබඳව මූලිකව සාකච්ඡා කෙරිණි.

එහි දී  අදාළ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සම්බන්ධව වෙන වෙනම සිදුකරන ලද පැහැදිලි කිරීම් වෙත  අවධානය යොමු කළ අග්‍රාමාත්‍යතුමිය, තීරණයක් ගතහැකි වගකිවයුතු නිලධාරීන් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට සම්බන්ධ වීමේ වැදගත්කම අවධාරණය කළාය.

තවද  මෙම වසරට අදාළව දිස්ත්‍රික්කය තුළ සිදුකිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘතීන්වල ප්‍රගතිය නිවැරැදිව සමාලෝචනය  කරගැනීම එළඹෙන වසර සඳහා සැලසුම් ගොඩනැගීමේ  දී ඉතා වැදගත් වන බව අග්‍රාමාත්‍යවරිය විසින් පෙන්වා දෙන ලදී.

ඊට අමතර, වාරිමාර්ග ව්‍යාපෘති ප්‍රගතිය, කොළඹ නගරය සඳහා ස්ථීර මළාපවහන පද්ධතියක් සකස් කිරීම, කොළඹ දිස්ත්‍රික්කය තුළ ඩෙංගු,චිකන් ගුන්යා, කොවිඩ් රෝග පිළිබඳව සහ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳව වර්තමාන තත්වය ඇතුළු සුවිශේෂි කරුණු කිහිපයක් පිළිබඳව ද මෙහිදී  අවධානය යොමු විය.