Tuesday, July 15, 2025
Follow Us
රජයේ වනාන්තර 16ක් රක්ෂිත ලෙස ගැසට් කෙරේ
මෙරට වනාන්තර රක්ෂිත කර ආරක්ෂා කිරීම සඳහා ක්රියාත්මක ‘‘වනස්පති ‘’ ජාතික වැඩසටහන අද (15) පරිසර අමාත්ය වෛද්ය දම්මික පටබැඳි මහතාගේ ප්රධානත්වයෙන්, පරිසර නියෝජ්ය අමාත්ය ඇන්ටන් ජයකොඩි මහතාගේ, සහ විශේෂ ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන් ගම්පහ, බජ්ජංගොඩ රක්ෂිත වනාන්තරයේ එළිමහන් රංග පීඨයේ දී ආරම්භ කෙරිණි.

ඒ අනුව අද දිනයේ (15) රජයේ වනාන්තර 16ක් රක්ෂිත ලෙස ගැසට් කිරීම සිදු කෙරිණි. මොණරාගල දිස්ත්රික්කයේ මොණරාගල අඩවියේ ආගරේ, බන්ඩාරවාඩිය, කුඩාගොඩකන්ද, මිල්ලකැලේ, වන්තිබ්බාගොඩ, වෙහෙරගලකන්ද රජයේ වනාන්තරත් - සියඹලාණ්ඩුව අඩවියේ අඹත්තාහෙල රජයේ වනාන්තරයත්, වැල්ලවාය අඩවියේ කන්දෙයාය, පොරමැඩිල්ල, වැලිආර රජයේ වනාන්තර අද (15) දින සිට නව රක්ෂිත ලෙස ප්රකාශයට පත් කර ඇත.

 
අම්පාර දිස්ත්රික්කයේ අක්කරපත්තුව අඩවියේ පාලකුඩා කඩොලාන වනාන්තරය, අම්පාර අඩවියේ කරංගාව රජයේ වනාන්තරය, මහඔය අඩවියේ බදුලුගොඩ රජයේ වනාන්තරය සහ ලාහුගල අඩවියේ පානම උතුර රජයේ වනාන්තර ද අද දින සිට රක්ෂිත ලෙස ගැසට් කළ අතර මහනුවර දිස්ත්රික්කයේ මහනුවර අඩවියේ රිලාගල සහ රජගල රජයේ වනාන්තර ද රක්ෂිත ලෙස ප්රකාශයට පත් කෙරිණ. ඒ අනුව මෙම සියලු රජයේ වනාන්තරවල හෙක්ටයාර 5711.75 ක වපසරියක භූමි ප්රමාණයක් රක්ෂිත බවට අද දින සිට ප්රකාශයට පත් කර ඇත.
 
පරිසර අමාත්ය වෛද්ය දම්මික පටබැඳි මහතා සහ නියෝජ්ය අමාත්ය ඇන්ටන් ජයකොඩි මහතාගේ උපදෙස් සහ මඟපෙන්වීම යටතේ “වනස්පති” - ශ්රී ලංකාවේ වනාන්තර රක්ෂිත කර ආරක්ෂා කිරීමේ වැඩසටහන ක්රියාත්මක වේ