Wednesday, July 16, 2025
Follow Us
සිරසර ශිල්ප 2025” බන්ධනාගාරගත රැඳවියන්ගේ කර්මාන්ත හා අලෙවි ප්‍රදර්ශනය හෙට දක්වා

බන්ධනාගාරගත රැඳවියන්ගේ නිර්මාණාත්මක කුසලතා හැකියාවන් ජාතික තලයට ගෙන ඒම අරමුණු කර ගනිමින් ඔවුන්ගේ නිර්මාණ ඇතුළත් “සිරසර ශිල්ප 2025 කර්මාන්ත හා අලෙවි ප්‍රදර්ශනය” බත්තරමුල්ල දියත පරිශ්‍රයේදී ඊයේ (15) ආරම්භ කෙරිණි.

මෙම ප්‍රදර්ශනය සහ අලෙවි සැල අද ( 16) සහ හෙට ( 17) පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා බත්තරමුල්ල දියත පරිශ්‍රයේදී පැවැත්වේ.

නීතියෙන් දඬුවම් ලැබ වරදකරුවන් වු පුද්ගලයින් බන්ධනාගාරගත කරනු ලබන්නේ සමාජයට යහපත් පුද්ගලයින් බිහි කිරීමේ අරමුණින් බව එහි සමාරම්භක උත්සව අවස්ථාවට එක් වෙමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේය.


සමාරම්භක උත්සවය අමතමින් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේය.
සිරකරුවන්ගේ හැකියාවන් වෙනුවෙන් වටිනාකමක් ලබාදීමට මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීම අගය කළ යුතුයි. මෙම ප්‍රදර්ශනය නරඹා රැඳවියන්ගේ දක්ෂතා දැක ගනිමින් භාණ්ඩ මිළට ගැනීමට පැමිණෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඔවුන්ගේ නිර්මාණ මිළට ගෙන දක්වන සහයෝගය ඔවුන්ව තවදුරටත් උද්යෝගීමත් කිරීමක් ලෙස සඳහන් කළ හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

රැඳවුවන්ගේ කලාත්මක කුසලතා නිර්මාණ මිලදී ගැනීමේ හැකියාව මෙහි පවතින අතර පුනරුත්ථාපනය වන කාලසීමාව තුළදී ඔවුන් විසින් සකස් කරන ලද පුටු, මේස, අල්මාරි, ඇඳන්, පොත් රාක්ක, කණ්ණාඩි මේස, බිත්ති රාක්ක වැනි දැව භාණ්ඩ, කැති රේක්ක, අත් සවල්, අත් මුල්ලු, පිහි ඇතුළු කම්මල් භාණ්ඩ, ඇඳ ඇතිරිලි, රෙදි පැන්සල් කේස්, රෙදි පාපිසි, අත් පිස්නා, ඇඳ අතිරිලි ඇතුළු මැහුම් නිර්මාණ, කාබනික පොහොර, සහල්, කැවිලි වර්ග, බඩ ඉරිඟු, එළවලු වර්ග සහ පලා වර්ග, මදුරු දැල්, සාරි, බිත්ති ලාම්පු, මේස ලාම්පු, ඇතුළු නිෂ්පාදන මෙහිදී මිලදී ගැනීමේ හැකියාව තිබේ.