Thursday, March 06, 2025
Follow Us
බලශක්ති ඇමැති 2025 බලශක්ති සංක්‍රාන්ති සමුළුව අමතයි

අනාගත බලශක්ති අරමුණු ජය ගැනීමට සම්ප්‍රදායික පොසිල ඉන්ධන භාවිත ප්‍රභවයන්ගෙන් මිදී හරිත සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත සංක්‍රමණය කිරීම අත්‍යවශ්‍ය තත්වයකට පත්ව ඇති බව ශ්‍රී ලංකාවේ බලශක්ති සංක්‍රාන්ති සමුළුව - 2025 සමාරම්භක අවස්ථාව අමතමින් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පැවසීය.

අනාගත බලශක්ති ක්ෂේත්‍රයේ සිදුවීමට නියමිත වෙනස්කම්, ජාතික හා ජාත්‍යන්තර ප්‍රවණතා සහ නව අභියෝග හඳුනාගැනීමටත්, එම ගැටලු විසඳීමෙහිලා ගතහැකි සංකල්ප සහ ක්‍රියාමාර්ග හඳුනා ගැනීමට, සාකච්ඡා කිරීමට මෙන්ම දැනුවත් වීමටද මෙම සමුළුව විශාල පිටුවහලක් වනු ඇතැයිද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

ගෝලීය තත්වයන්ගේ වෙනස්කම්, නව ප්‍රවණතා හඳුනානොගෙන මතුවිය හැකි අභියෝග සැලකිල්ලට නොගෙන අපට ඉදිරි බලශක්ති අරමුණු ජයගැනීම කළ නොහැකිය.  විශේෂයෙන්ම නව තාක්ෂණය, කෘතිම බුද්ධිය, ඩිජිටල්කරණය බලශක්ති ක්ෂේත්‍රයටත් විශාල බලපෑමක් සිදු කරාවි. ගෝලීය බලශක්ති වෙළඳපොලේ ස්වභාවය තාක්ෂණික දියුණුව මෙන්ම භූ දේශපාලන ගතිකත්වයන්හිද සිදුවන වෙනස්කම් මගින් අපේ රටටත් නව අවස්ථා, නව අභියෝග උදාවන අතර, ඒවා හඳුනාගැනීමට මෙම සමුළුව හොඳ අවස්ථාවක් වනු ඇති බව ද ඔහු පැවසීය.

ශ්‍රී ලංකාව සඳහා පිරිසිදු පහසු මිලකට ලබාගත හැකි සහ සෑම පුද්ගලයෙකුටම සමානාත්මිකව ප්‍රවේශ විය හැකි බලශක්ති ක්‍රමයක් ගොඩනැගීම සඳහා අප සියල්ලන් එක්ව කටයුතු කළ යුතුය. මෙම සමුළුව ඒ සඳහා පිටුවහලක් වනු ඇතැයි මා තදින් විශ්වාස කරනවා යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

බලශක්ති ක්ෂේත්‍රයේ ජාතික හා අන්තර්ජාතික මට්ටමේ ප්‍රවීණයන්, විද්වතුන් හා ලාංකීය බලශක්ති ක්ෂේත්‍රයේ විවිධ අංශවලින් සම්බන්ධිත ආයතන, ජාතික අන්තර්ජාතික ආයතනවල නියෝජිතයින් රැසක්ද සහභාගී වූ මෙම සමුළුවට බලශක්ති අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති මහාචාර්ය තිලක් සියඹලාපිටිය, සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර ජේ. බණ්ඩාර, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.එස්. රාජකරුණා, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ සභාපති ආචාර්ය තුෂාරා රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුළු බලශක්ති ක්ෂේත්‍රයන්ට අදාල විශාල පිරිසක් සහභාගී වී සිටියහ. මෙම සමුළුව පසුගියදා කොළඹ සිනමන් ලයිෆ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.