මිනිසා විසින්ම සිදු කරනු ලබන අනාරක්ෂික ක්‍රියාකාරම් හේතුවෙන් මිනිස් ජීවිත අකාලයේ මිය යන අවස්ථා කොතෙකුත් වාර්තා වේ.
විශේෂයෙන් කුඩු දරුවන් අකාලයේ මිය යෑම් සිදු වන්නේ ඉතා අවාසනාවන්ත ලෙසයි. වැඩිහිටියන්ගේ නොසැලකිල්ල ඊට ප්‍රධාන හේතුවක් වෙන අතර අවධානම් සහිත ක්‍රියාකාරකම්, ස්ථාන, ආහාර පාන ආදිය පිළිබඳව දරුවන් සිටින දෙමාපියන් විශේෂ අවධානයෙන් කටයුතු කළ යුතු වේ.
මෙවැනි අවාසනාවන්ත සිදු වීම් අද දිනයෙන් ද වාර්තා වී තිබේ.
අසල්වැසි නිවසේ ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් සූරියවැව වීරියගම ප්‍රදේශයේ පදිංචිව සිටි මවක් හා ඇයගේ පස් හැවරදි දරුවා ඊයේ (05) සවස මියගොස් තිබේ.
මියගිය දරුවා කුඩා දරුවන් භාවිතා කරන පාපැදියකින් ඔහු පදිංචිව සිටි නිවස ආසන්නයේ ඇති නිවසට යමින් සිටියදී අනවසර විදුලි රැහැනේ පැටලී ඇති බවත් තම පුත්‍රයා මුදවා ගැනීමට එම ස්ථානයට දිවගිය මවටද විදුලිසැර වැදී ඇති බවත් පොලිසිය පවසයි.
විදුලිසැර වැදීමෙන් මව හා පුත්‍රයා එම ස්ථානයේම මියගොස් තිබුණි.මියගොස් තිබුනේ 38 හැවිරිදි මවක් හා 05 හැවිරිදි ඇයගේ පුත්‍රයා ය.
සිද්ධිය සම්බන්ධයෙන් සූරිය වැව පොලිසිය පරීක්ෂණ පවත්වයි
එසේම තවත් එවැනිම අවාසනාවන්ත සිදු වීමක් අද දිනයේ ම වාර්තා වෙයි.
එනම් මාන්කුලම, කට්කුවාරි ප්‍රදේශයේ දී කුඩා පිරිමි දරුවෙකු ඖෂධයක් විෂ වී මිය ගොස් තිබීමයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 01 ½ ක් වූ කට්කුවාරි, මාන්කුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකි.
මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී හෙළි වී ඇත්තේ මෙම කුඩා දරුවා ඔහුගේ මිත්තණිය අසනීප තත්ත්වයක් සඳහා ගනු ලබන ඖෂධ පෙති ගිල දමා ඇති බවය.
පසුගිය 04 වනදා පස්වරුවේ මෙම දරුවා ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී දරුවා මියගොස් ඇත.
කොයිතරම් නොසැලකිලිමත්ව මෙම දෙමාපියන් වැඩිහිටියන් කටයුතු කර තිබෙන්නේද? කිසිදු දෙයක් නොතේරෙන දරුවෙකුගේ ජීවිතය අවාසනාවන්ත ලෙස නැති වී ගොස් අවසන්ය.
විශේෂයෙන් කුඩා දරුවන් සිටින නිවෙස්වල අවධානම් සහිත සියලු දේ විධිමත් ආකාරයෙන් දරුවන්ගෙන් වෙන් කර තැබීමට දෙමාපියන් වැඩිහිටි කවුරු වුවද අවධාරණය කළ යුතු කරුණකි.