Friday, October 18, 2024
Follow Us
වසර තුනක සිරදඬුවම් නියම වූ හිටපු DIG එදිනම ඇප මත නිදහස් !

සිය පෞද්ගලික නිවසේ සේවය සඳහා ග්‍රාමාරක්ෂක නිලධාරීන් යොදවා ගැනීම සම්බන්ධයෙන් වැරදිකරු වී වසර තුනක සිර දඬුවම් නියම වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි මහතාව එම තීන්දුව ලබාදුන් ඊයේ (02) දිනයේදීම ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

2007 වසරේදී මාතලේ කොට්ඨාශය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාව සිටියදී මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසේ සේවය සඳහා ග්‍රාමාරක්ෂක නිලධාරීන් යොදවා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් ඔහුට එරෙහිව නඩු පවරා තිබුණු අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ඔහුව චෝදනාවන් 6කට වැරදිකරු බව තීරණය කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එම එක් එක් චෝදනාවට වසර බැගින් සිරදඬුවම් නියම කර, එම සිර දඬුවම් වසර තුනකින් එකවර ගෙවීයන පරිද්දෙන් ලබාදීමට ද නියම කළාය.

මෙසේ දඬුවම් නියම කළේ සෙසු නිලධාරීන්ටත් ආදර්ශයක් වීමට බවයි මහේස්ත්‍රාත්වරිය අධිකරණයේදී ප්‍රකාශ කළේ.

කෙසේවෙතත් මෙම තීන්දුවට එරෙහිව මහාධිකරණයෙහි අභියාචනාවක් ගොනු කිරීමට බලාපොරොත්තුව වන හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නීතීඥයා දන්වා සිටීමෙන් අනතුරුව අවසානයේ රුපියල් ලක්ෂ තුනක ශරීර ඇපයක් පමණක් මත ඔහුව මුදා හැරීමට ද අධිකරණය තීන්දු කර තිබිණි.

(LNW)