Sunday, September 08, 2024
Follow Us
විදුලි නිෂ්පාදනයට තෙල් බෙදා හැරීම නතර කිරීමට වෘත්තීය සමිති යළි සැරසෙයි

කොළඹ වරායේ සිට කොලොන්නාව දක්වා දිවෙන තෙල් නල එලීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය කැබිනට් මණ්ඩලයේ අවධානයට යොමුව තිබෙනවා. මෙම අර්බුදය මුල්කර ගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයට සහ පෞද්ගලික විදුලි බලාගාරවලට ඉන්ධන සැපයීම නතර කිරීමටයි වෘත්තීය සමිති තීරණය කළේ. එහෙත් ඛණිජ තෙල් වෘත්තීය සමිති ඊයේ (01) පස්වරුවේ එම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය තාවකාලිකව අත්හිටවූයේ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් සමග පැවැති සාකච්ඡාවකදීයි. එහිදී අමාත්‍යවරයා පොරොන්දු වී ඇත්තේ අදාල ගැටලුව කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීමටයි.

කොළඹ වරායේ සිට කොලොන්නාව දක්වා දිවෙන තෙල් නල එලීමේ ව්‍යාපෘතිය ආරම්භ කළේ 2015 වසරේදීයි. ඒ අබලන් වී ඇති නළ පද්ධතිය වෙනුවෙන් නව නළ පද්ධතියක් එළීමටයි. එහෙත් එම කටයුතු මෝදර මහවත්ත ප‍්‍රදේශයේදී නතර කිරීමට සිදුව ඇත්තේ එහි සිටින අනවසර පදිංචිකරුවන්ගේ විරෝධය හේතුවෙන්. එම ව්‍යාපෘතියේ කටයුතු අවසන් කිරීමට තවත් ඇත්තේ මීටර් 140ක පමණ දුරකට තෙල් නල එලීමට පමණයි.

ඛණිජ තෙල් වෘත්තීය සමිති කියා සිටියේ අදාළ ව්‍යාපෘතිය නතර වීමට එම ප‍්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා වන අමාත්‍ය රවී කරුණානායකගේ බාධා කිරීම් ද හේතු වී ඇති බවයි. එහෙත් නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ අමාත්‍ය රවී කරුණානායක කියා සිටියේ තමාගේ මැතිවරණ ආසනයේ සිටින ජනතාවට මෙම ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑම් එල්ල වන බවයි.

මෙම ව්‍යාපෘතිය ඉතා අත්‍යවශ්‍ය ව්‍යාපෘතියක් බව ජාතික සේවක සංගමයේ සභාපති ඊ. ඒ.සී. වසන්ත නෙත් නිවුස් වෙත කියා සිටියා. අදාල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවන්ට ද ඔහු ප‍්‍රතිචාර දැක්වූවා.

යම් හෙයිකින් ඛණිජ තෙල් වෘත්තීය සමිති විදුලිය නිෂ්පාදනයට ඉන්ධන ලබා නොදීමට තීරණය කළහොත් ඇතිවිය හැකි බලපෑම සම්බන්ධයෙන්ද නෙත් නිවුස් විමසීමක් කළා. විදුලි අවශ්‍යතාවයෙන් සියයට 40ක් පමණ සපුරා ගන්නේ ඉන්ධන භාවිතයෙන් බවයි එහිදි හෙළි වුණේ. වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයක් සිදු නොවුනද මේ වනවිටත් අඛණ්ඩ විදුලි සැපයුම අර්බුදයක පවතින බව විදුලිබල අමාත්‍යංශය ප‍්‍රකාශ කළා. එහි සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මේ බව පෙන්වා දුන්නා.

මේ වනවිට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමේදී ඉන්ධන භාවිතය උපරිම ලෙස සිදුවන බව ඔහු ප‍්‍රකාශ කළා.

කෙසේ වෙතත් ඛණිජ තෙල් වෘත්තීය සමිති ප‍්‍රකාශ කළේ තාවකාලිකව වැඩ වර්ජනය අවසන් කළද හෙට (03) දිනයේ ඊට විසදුමක් නොලැබුණහොත් ලබන සිකුරාදා සිට විදුලිය නිෂ්පාදනයට ඉන්ධන ලබා නොදීමේ වැඩ වර්ජනයක් අරම්භ කරන බවයි.

(Neth)