Friday, October 18, 2024
Follow Us
අද සිට හිමිවන දීමනාත් මදි බවට රාජ්‍ය සේවයෙන් මැසිවිලි

රාජ්‍ය සේවකයින්ට, විශ‍්‍රාමකයින්ට, ත‍්‍රිවිධ හමුදා සාමාජිකයින්ට සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට අද (01) සිට හිමිවන ප‍්‍රතිලාභ සම්බන්ධයෙන් නෙත් නිවුස් පාර්ශ්ව කිහිපයකින් අදහස් විමසා සිටියා.

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පැවසුවේ රාජ්‍ය සේවකයින්ට අද සිට හිමිවන්නේ තවත් දීමනාවක් මිස වැටුප් වර්ධකයක් නොවන බවයි. මෙවැනි රැවටිලි නොකර විධිමත් හා ප‍්‍රමාණවත් වැටුප් වර්ධකයක් රාජ්‍ය සේවකයින්ට ලබාදෙන ලෙස රජයට යෝජනා කරන බවද ඔවුන් පැවසුවා. එහි සභාපති, වෛද්‍ය නිමල් කරුණාසිරි මේ බව සඳහන් කළා.

ලංකා ගුරු සේවා සංගමය ද පවසන්නේ රාජ්‍ය සේවක වැටුපට අද සිට එකතුවන දීමනාව ජීවන වියදමට සාපේක්ෂව කිසිසේත් ප‍්‍රමාණවත් නොවන බවයි. එහි ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මේ බව පෙන්වා දෙනවා.

මේ අතර ත‍්‍රිවිධ හමුදා සාමාජිකයන් සඳහා අද සිට එකතු වන දීමනා සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ රණවිරු අයිතිවාසිකම් සුරකීමේ ජාතික බලවේගය වෙනුවෙන් එහි සභාපති යු. ඞී. වසන්ත පැවසුවේ දීමනා එකතු කිරීමට හෝ වැඩි කිරීමට පෙර කප්පාදු කර ඇති දීමනා යළි ලබාදිය යුතු බවයි.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ නියෝජතයන්ගෙන් ද විමසීමක් කළා. ඊට ප‍්‍රතිචාර දැක්වූ පොදු පහසුකම් හා ආර්ථික ප‍්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියේ නොයෙක් විවේචන ප්‍රකාශ කළත් සිය රජය පැමිණි පසු 2020 වන විට රාජ්‍ය සේවකයන් සියලු දෙනාගේ පඩිය දෙගුණයක් වෙන බවයි.

හිමිවන වැටුප්, දීමනා සහ වෙනත් වරප‍්‍රසාදවලට සරිලන පරිදි රාජ්‍ය සේවකයින් වඩා කාර්යක්ෂම සේවයක් ලබාදීමට උනන්දු විය යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

(Neth)