Friday, October 18, 2024
Follow Us
මරණ දඬුවමට 04දෙනෙකු තෝරාගත් ආකාරය ගැන ගැටලුවක්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සඳහා මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය මේ වනවිට රටපුරා ප‍්‍රබල සංවාදයක් ඇතිකර තිබෙනවා.

ජනාධිපතිවරයා ඉකුත් දා ප‍්‍රකාශ කළේ, මරණ දඬුවම නියම වූ 04 දෙනෙකුට එම දඬුවම ක‍්‍රියාත්මක කිරීම සඳහා තමන් දැනටමත් අත්සන් කර තිබෙන බවයි.

එහෙත් මරණ දඬුවම නියම වූ බොහෝ පිරිසකගෙන් එම දඩුවම ක‍්‍රියාත්මක කිරීම සඳහා මෙලෙස 04 දෙනෙකු තෝරාගත්තේ කෙසේදැයි ජනාධිපති නීතිඥ යු. ආර්. ද සිල්වා ප‍්‍රශ්න කරනවා. මෙහි කාර්ය පටිපාටියේ දෝෂයක් පවතින බවයි නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

එහිදී "2018 වසරේ සංඛ්‍යාලේඛන අනුව 1299ක් මරණීය දණ්ඩනය සඳහා නියම වෙලා තියෙනවා. නමුත් මරණ දඬුවමට අභියාචනයන්ගෙන් පසුව නියම වෙලා ඉන්නේ 459 දෙනයි. කාන්තා 05 දෙනයි, විදේශිකයින් 06 දෙනයි. මේ අයගෙන් එතුමා කොහොමද 04 දෙනෙක් තෝරන්නෙ..." යනුවෙන් සඳහන් කළා.

මේ අතර මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමට සහය දැක්විය නොහැකි බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (30) ප‍්‍රකාශ කළා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද පැවසුවේ මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම අවශ්‍ය නොවන බව තමන්ගේ ද විශ්වාසය බවයි.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ද විමසීමක් කළා. එහි මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර කියා සිටියේ "මේ සටන් කරන්නේ පාසල් යන ලක්ෂ ගණනක දූදරුවන්ගේ අනාගතය වෙනුවෙන්. මත්කුඩුවලට එරෙහිවන්නන්ට කිසියම් ආකාරයක උත්තේජනයක් ලබා දීම වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ගයක් වැනි දෙයක් මේක. මම මරණ දඬුවම ක්‍රියාත්මක කරනවාට කැමති නෑ. නමුත් ඇතිවෙලා තියෙන තත්ත්වය අනුව යම් දැඩි ක්‍රියාමාර්ගයක් අවශ්‍යයි." යනුවෙනි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සඳහා මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය ඇතැම් අයගේ විවේචනයට ලක්වුවද බිම් මට්ටමේ බොහෝ පිරිස් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහය දක්වන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

(Neth)