Friday, October 18, 2024
Follow Us
මරණ දඬුවම ක්‍රියාත්මක වෙන ආකාරය ගැන බන්ධනාගාරයෙන් පැහැදිළි කෙරේ

මරණ දඩුවම කි‍්‍රයාත්මක කරන ලෙසට ජනාධිපතිවරයාගේ නියෝගය මෙතෙක් සිය දෙපාර්තමේන්තුව වෙත ලැබී නොමැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

එහි උසස් නිලධාරියෙකු නෙත් නිවුස් වෙත කියාසිටියේ එම නියෝගය ජනාධිපති ලේකම්වරයා විසින් අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පළමුව ලිඛිතව දැනුම් දිය යුතු බවයි.

පසුව එම නියෝගය එම අමාත්‍යාංශ ලේකම්වරයා විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිඛිතව දැන්විය යුතු වනවා.

කෙසේවෙතත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (26) දහවල් ප‍්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිව් දෙනෙකුට මරණ දඬුවම ලබාදීම සඳහා තමන් අත්සන් කළ බවත් සති 02ක් තුළ මරණ දඬුවම ක‍්‍රියාත්මක වනු ඇති බවයි.

කෙසේවෙතත් මරණ දඩුවම කි‍්‍රයාත්මක බවට ජනාධිපතිවරයාගේ නියෝගය මෙන්ම එල්ලා මැරීමට නම්කළ සිව් දෙනාගේ විස්තර සිය දෙපාර්තමේන්තුව වෙත ලැබුණු පසු එම පුද්ගලයන්ට ඒ බව ලිඛිතව දැනුම් දෙන බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියා නෙත් නිවුස් වෙත කියාසිටියා.

එය තමන් වෙත ලැබුණු බවට ඔවුන් සිව් දෙනාගෙන් ද අත්සන් ලබා ගැනෙනවා. එම සිව් දෙනා වෙනත් බන්ධනාගාරයක රදවා සිටින්නේ නම් ඔවුන් වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ඒමට ද නියමිතයි.

මරණ දඩුවමට නියමූ තැනැත්තෙකුට එම තීන්දුව ලැබුණු පසු තමන්ට ලැබුණු මරණ දඩුවම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට අභියාචනා කිරීමටද දින 14 ක් ලබාදෙනු ඇති.

මේ වනවිට විවිධ චෝදනා යටතේ මරණ දඩුවම නියම වූ සිරකරුවන් 1217 දෙනෙක් බන්ධනාගාරවල රදවා සිටිනවා. ඒ අතරට කාන්තාවන් 5 දෙනෙක් සහ විදේශිකයන් 06 දෙනෙක් ද අයත්. සිය මරණ දඩුවම සම්බන්ධයෙන් අභියාචනා කර ඇති සිරකරුවන් සංඛ්‍යාව 755ක්.

(Neth)