Tuesday, October 22, 2024
Follow Us
එජාප කෘත්‍යාධිකාරියේ බහුතරය තවමත් රනිල්ට ! සන්ධාන අවබෝධතා ගිවිසුම වැඩි ඡන්දයෙන් සම්මතයි !!

එක්සත් ජාතික පක්ෂය හා එම පක්ෂයට සහයෝගය දක්වන දේශපාලන පක්ෂ හා සංවිධානවලින් සමන්විතව ගොඩනැගීමට නියමිත නව දේශපාලන සන්ධානය අතර ඇතිකර ගැනීමට නියමිත අවබෝධතා ගිවිසුම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කළ අවබෝධතා ගිවිසුම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයන් 35 දෙනෙකු එඟතාවය පළකර ඇති අතර ඊට එරෙහි වී ඇත්තේ සාමාජිකයන් 07 දෙනෙකු පමණි.

පසුගිය දිනවල, රනිල් වික්‍රමසිං මහතාට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතර සහයෝගය ද මේ වනවිට අහිමිව ඇති බවට විවිධ මාධ්‍ය වාර්තා පළ විය. ඒ අනුව නව සන්ධානයට අදාල ගිවිසුම් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියකින් තොරව ක්‍රියාත්මක කිරීමට එජාප නායකයා කටයුතු කරන බවටයි චෝදනා එල්ල වූයේ.

කෙසේ වෙතත් මෙවර ද වික්‍රමසිංහ මහතා පක්ෂයේ තීරණාත්මක සංවිධානය වන කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතර බලය තමන් සතු කරගෙන සිටීමට සමත්ව තිබේ.

එජාපය ප්‍රමුඛ සන්ධානය ලබන 05 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර එදින සන්ධානයට ඇතුළත් පක්ෂ රැසක් අවබෝධතා ගිවිසුමට එළඹීටද නියමිත වේ.

මෙම ගිවිසුමට විරෝධය පළකළ කෘත්‍යාධිකාරී සාමාජිකයන්ගෙන් එජාප නායකයා ඉල්ලා ඇත්තේ ඔවුන්ගේ විරෝධය ලිඛිතව ලබාදෙන ‌‌ලෙසයි. ගැටලු සහ අඩුපාඩු ‌පෙන්වා ‌දෙමින් සාධනීය විරෝධයක් එල්ල කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් සලකා බැලීමට තමා සූදානම් බව ද එජාප නායකයා ප්‍රකාශ කර තිබෙනවා.

(LNW)