Tuesday, October 22, 2024
Follow Us
ශ්‍රීලනිපයට රිදෙන්න මහින්දගෙන් අලුත් සන්ධානයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එළඹෙන සිකුරාදා දිනයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් සන්ධානයක් උදෙසා පක්ෂ 10ක් සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීමට සූදානම් බව එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

ඒ සඳහා දැනට පාර්ලිමේන්තු නියෝජනයක් නොමැති පක්ෂ 18ක් සමඟ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දෙසතිය තුළ සාකච්ඡා පැවැත්වුණු බවයි ඒ මහතා සඳහන් කළේ.

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ පැවති සාකච්ඡා පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ එක් සාකච්ඡා වටයකදී ඉදිරි ආණ්ඩුවක තනතුරු බෙදාගැනීම සමබන්ධයෙන් ශ්‍රීලනිපය යෝජනා ඉදිරිපත් කළත් මේ මොහොතේ එවැන්නක් ගැන සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරයේ විරුද්ධ වූ බවයි.

තනතුරු බෙදාගැනීම සම්බන්ධයෙන් කොහෙත්ම සාකච්ඡා නොකරන බව අවධාරණය කළ ඒ මහතා එවැන්නක් සිදුකිරීමට ගියහොත් සන්ධානයේ මූලික අරමුණු යටයනු ඇති බවත් ප්‍රකාශ කළේය.

(LNW)