Tuesday, October 22, 2024
Follow Us
හිස්බුල්ලාගේ මඩකළපුව කැම්පස් ගැන ජවිපෙන් පාර්ලිමේන්තු විවාදයක්

විවාදයට තුඩු දී ඇති මඩකළපුව විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය ලබා ගැනීම සඳහා කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (17) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව අවධාරණය කළේය.

හිස්බුල්ලා මහතාට අනුව මෙම විශ්වවිද්‍යාලය සකස් කරන්නේ සිසුන් 10,000 කට අධ්‍යාපනය ලබාදීමට නම් දැන් සිදුකළ යුතු හොඳම දේ එය රජයට පවරා දී නැගෙනහිර පළාතේ පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවේම සිසුන්ට අධ්‍යාපනය ලැබීම සඳහා අවස්ථාව ලබාදීම බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

මෙම විශ්වවිද්‍යාලය සඳහා ලබා දී ඇත්තේ මහවැලි අධිකාරියට අයත් ඉඩම් බව පෙන්වා දෙන නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ එම ඉඩම් වසර 35 කට බදු දී ඇත්තේ අක්කරයකට රුපියල් 14,340 ක මුදලකට බවයි. මේ සඳහා මුදල් ලැබුණු ආකාරය සම්බන්ධයෙන් ද ගැටලු තිබෙන බවත් ඒ් සියල්ල ජනතාව දැනගත යුතු බවත් මන්ත්‍රීවරයා පවසයි.

මෙම ඉඩම ලබා ගැනීමේදී ඒ් සඳහා හේතු ලෙස ඉදිරිපත් කර තිබෙන්නේ නොමිලේ වෘත්තීය පුහුණුව ලබාදෙන පොදු ආයතනයක් වෙනුවෙන් බවත්, එහෙත් ඔවුන් ඉදි කරමින් සිටින්නේ මුදලට පාඨමාලා විකුණන ආයතනයක් බවත් මන්ත්‍රීවරයා පවසයි. ඒ් අනුව මෙය නීතිවිරෝධී ආයතනයක් වශයෙන් සැලකීමට සිදුවන බවත් ඔහු අවධාරණය කරයි.

මෙම ආයතනය ඉදිකර ඇති භූමිය ඊට පෙර සිද්ධපුර නගරය ඉදිකිරීම සඳහා වෙන්කර තිබූ අතර එම ව්‍යපාෘතිය නතර කර අදාල ඉඩම් ඉතා අඩු මුදලකට බදුදීම සම්බන්ධයෙන් එවකට මහවැලි අමාත්‍යවරයා වූ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද වගකිව යුතු බව මන්ත්‍රීවරයා පවසයි.

මේ වනවිට අදාල අක්කර 35 ට අමතරව තවත් අක්කර 08 ක ගොාඩනැගිලි ඉදිකර තිබෙන අතර ඊට අමතරව තවත් අක්කර 15 ක් පමණ නීතිවිරෝධී ලෙස එළිපෙහෙළි කර තිබෙන බව ද මන්ත්‍රීවරයා පවසයි.

මෙම ව්‍යපෘතිය ආරම්භ කළ හීරා පදනම සම්බන්ධයෙන්ද ගැටලු තිබෙන බවත් එම පදනම රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ පනත යටතේ ලියාපදිංචි කර නොමැති අතර එවැනි සංවිධානයකට ණය ලබා ගැනීම ද ගැටලුසහගත බව නලින්ද ජයතිස්ස මහතා පවසයි. එසේම එවැනි ණය ලබා ගන්නේ නම් ඒ සඳහා බීඕඅයි ආයතනයේ අනුමැතිය ලබාගත යුතු නමුත් මෙහිදී එවැන්නක් සිදුව නොමැති බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

මෙම කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් හරහා ජනතාවට හෙලිදරව් කරන බවද නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.

(LNW)