කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය හා එක්ව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් GeoGoviya පද්ධතියේ අනාගත සංවර්ධනය සහ දීර්ඝකාලීන තිරසාරභාවය පිළිබඳ විශේෂ උපායමාර්ගික සාකච්ඡාවක් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
IWMI ආයතනයේ තාක්ෂණික හා මූල්‍ය දායකත්වයෙන් ආරම්භ කරන ලද 'ජියෝගොවියා' පද්ධතිය මේ වන විට ලියාපදිංචි ගොවීන් මිලියන 1.42 ක්, කුඹුරු ඉඩම් මිලියන 1.82 ක්, කුඹුරු සිතියම් මිලියන 1.62 ක් සහ හෙක්ටයාර මිලියන 0.82 ක භූමි ප්‍රමාණයක් ආවරණය වන මධ්‍යගත දත්ත ගබඩාවක් ලෙස ක්‍රියාත්මක වේ. ගොවි දත්ත පද්ධතිය, කුඹුරු ඉඩම් දත්ත පද්ධතිය, ගෙවතු දත්ත පද්ධතිය, ඇන්ඩ්‍රොයිඩ් ජංගම යෙදවුම (Mobile App) සහ දත්ත දෘශ්‍යකරණ Dashboards හරහා මාසික, සෘතුමය (වගා කන්න) සහ වාර්ෂික කෘෂිකාර්මික තොරතුරු සපයනු ලබයි.
මෙම පද්ධතිය දියුණු කිරීම මඟින් ගොවි ජනතාවට සහ සමස්ත සමාජයට ප්රතිලාභ රැසක් හිමිවේ. "නිවැරදි තොරතුරු - නිවැරදි ස්ථානයට - නිවැරදි වේලාවට - නිවැරදි කාලගුණය" ලබාදෙමින් ස්මාර්ට් ගොවියෙකු බිහිකිරීම මෙහි ප්‍රධාන අරමුණයි. තථ්‍ය කාලීන (real-time) වගා විශ්ලේෂණයන්, සියුම් කෘෂිකාර්මික (precision farming) තාක්ෂණයන්, කාලගුණික අනතුරු ඇඟවීම්, වගා නිර්දේශ, රෝග සහ කෘමි හානි පිළිබඳ තොරතුරු මෙන්ම වෙළඳපොළ මිල ගණන් පිළිබඳ දැනුවත්භාවය ගොවීන්ට ලබාදීමට සැලසුම් කර ඇත. එමෙන්ම, වගා හානි අවම කරගැනීමට සහ ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට දත්ත මත පදනම් වූ සාක්ෂි සහිත ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට රජයට හැකියාව ලැබේ.
තවද, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, අනෙකුත් රාජ්‍ය ආයතන සහ රාජ්‍ය විශ්වවිද්‍යාල වැනි ආයතන අතර API හරහා සුරක්ෂිතව දත්ත හුවමාරු කර ගැනීමට සහ දත්ත අන්තර්-ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම පිළිබඳව ද අවධානය යොමු විය. රාජ්‍ය දත්ත ආරක්ෂණ අවශ්‍යතාවලට අනුකූලව පද්ධතිය දේශීය Cloud යටිතල පහසුකම් වෙත මාරු කිරීම සහ SL-CERT මඟින් පද්ධති ආරක්ෂණ ඇගයීම් සිදු කිරීම ද ඉදිරි කටයුතු අතරට ඇතුළත් වේ.
ගොවි ජනතාවට මූල්‍ය සහනාධාර සහ වගා ලියාපදිංචි කිරීම් ඇතුළු අදාළ සේවාවන් ලබාගැනීම සඳහා තමන්ට ආසන්නතම ගොවිජන සේවා මධ්‍යස්ථානය වෙත යොමුවිය හැකි අතර, ජියෝගොවියා පද්ධතියේ ඩිජිටල් සේවා හරහා කෘෂිකාර්මික තොරතුරු වඩාත් කාර්යක්ෂමව ලබාගැනීම සඳහා පද්ධතිය තවදුරටත් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම භූ-අවකාශීය කෘෂිකාර්මික පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් අමාත්‍යාංශයේ ලේකම්වරයා, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් (සංවර්ධන) ඇතුළු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයේ නිලධාරීන් මෙන්ම ප්‍රධාන ප්‍රතිපත්ති සම්පාදකයින්, තාක්ෂණික විශේෂඥයින්, ජනාධිපති ලේකම් කාර්යාලයේ නියෝජිතයින්, ජාතික ආහාර සුරක්ෂිතතා තාක්ෂණික කමිටුව, ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනය (IWMI) සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) යන ආයතනවල නියෝජිතයෝ මෙයට එක්ව සිටියහ.