Tuesday, August 18, 2026
Follow Us
රාවණා ඇල්ල අභයභූමියේ පිහිටි නිල්දිය පොකුණ ආශ්‍රිත සංචාරක කටයුතු ආරම්භ කිරීමට යයි
රාවණා ඇල්ල අභයභූමියේ පිහිටි නිල්දිය පොකුණ ආශ්‍රිත සංචාරක කටයුතු, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය සහ නියාමනය යටතේ ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ, ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කරඳගොල්ල ග්‍රාම නිලධාරි වසමේ රාවණා ඇල්ල අභයභූමියේ අභ්‍යන්තර ගුහා සංකීර්ණයක් තුළ පිහිටි නිල්දිය පොකුණ ඉතා දුර්ලභ ගණයේ ස්වභාවික ජල මූලාශ්‍රයක් වේ.

එම ස්ථානය එහි පවතින සුවිශේෂ භූගෝලීය ලක්ෂණ හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයින් අතර ඉතා ජනප්‍රියත්වයට පත් සංචාරක ගමනාන්තයක් බවට පත්ව ඇත.

නිල්දිය පොකුණ සංරක්ෂණය කළ යුතු දුර්ලභ ගණයේ ස්වභාවික සම්පතක් වීම හේතුවෙන් එම ස්ථානයේ සංචාරක කටයුතු විධිමත් ලෙස අධීක්ෂණය හා නියාමනය කිරීම අත්‍යවශ්‍ය කටයුත්තක් වශයෙන් හඳුනාගනු ලැබ තිබේ.

ඒ සඳහා යෝජනා සහ නිර්දේශ ලබා ගැනීම පිණිස විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ අදාළ රාජ්‍ය ආයතන නියෝජනය වන පරිදි තාක්ෂණික කමිටුවක් පත් කර ඇති අතර, එම කමිටුව විසින් අධ්‍යයන වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබ ඇත. එකී වාර්තාවේ ඇතුළත් යෝජනා හා නිර්දේශ මත පදනම්ව, සංචාරක කටයුතු නියාමනය කිරීම සඳහා සකස් කරන ලද නියෝග නීති කෙටුම්පත් සම්පාදක විසින් පරීක්ෂා කර බලා තහවුරු කර ඇත.

ඒ අනුව, වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනතේ විධිවිධාන අනුව අදාළ නියෝග ගැසට් පත්‍රයේ පළ කර ප්‍රකාශයට පත් කිරීමට මෙම අනුමැතිය ලැබී තිබේ.