2025 නොවැම්බර් මාසයේදී ශ්රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන්, කුඩා වැව් 1,599ක්, අමුණු 1,686ක් සහ ඇළ මාර්ග 4,042ක් හානියට පත් වී තිබේ. එබැවින්, වී වගාවට අවශ්ය ජල සම්පාදනය සහ ජල කළමනාකරණය පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් උදා වී ඇත.
හානියට පත් සුළු වාරිමාර්ග 883ක් 2026 වර්ෂය තුළදී ප්රතිසංස්කරණය කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරමින් පවතී.
එයට අමතරව තවදුරටත් ප්රතිසංස්කරණය කළ යුතු බවට හඳුනා ගනු ලැබ ඇති කුඩා වැව්, ඇළ මාර්ග හා අමුණු 5,935ක් පමණ පවතී.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සතු භෞතික හා මානව සම්පත් උපයෝජනය කිරීමෙන් පමණක් හානියට පත් සුළු වාරි කර්මාන්ත කඩිනමින් ප්රතිසංස්කරණය කර අවසන් කිරීමට නොහැකි බව නිරීක්ෂණය කරනු ලැබ ඇත. එයට විකල්පයක් වශයෙන් ශ්රී ලංකා මහවැලි අධිකාරියේ අනුබද්ධිත සමාගමක් ලෙස පිහිටුවා ඇති මහවැලි උපදේශන කාර්යාංශය මඟින් අදාළ කටයුතු කඩිනමින් ඉටු කිරීම සඳහා අවශ්ය තාක්ෂණික උපදේශකත්වය ලබා ගත හැකි බව හඳුනාගනු ලැබ තිබේ.
ඒ අනුව, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් වූ සුළු වාරි කර්මාන්ත 5,935 ප්රතිසංස්කරණය සඳහා ඇස්තමේන්තුගත පිරිවැය වන රුපියල් මිලියන 12,170ක මුදලින් රුපියල් මිලියන 2,000ක් හදිසි ව්යාපෘති ක්රියාත්මක කිරීම සඳහා 2026 වර්ෂයේදී ද, ඉතිරි මුදල 2027 වර්ෂයේදී ද ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත වෙන් කර ගැනීමටත්, එකී සුළු වාරි කර්මාන්ත ප්රතිසංස්කරණ කටයුතුවලට අදාළ තාක්ෂණික උපදේශකත්වය මහවැලි උපදේශන කාර්යාංශය වෙතින් ලබා ගැනීමටත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.