Thursday, February 05, 2026
Follow Us
‘GovPAY’ ඩිජිටල් රථවාහන දඩ ගෙවීමේ නියමු ව්‍යාපෘතිය සාර්ථකව අවසන්

‘GovPAY’ ඩිජිටල් රථවාහන දඩ ගෙවීමේ නියමු ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කිරීමට හැකි වූ බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ඩිජිටල් රාජ්‍ය පාලන ක්‍රියාවලිය නව මානයකට ඔසවා තබමින්, මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරුණු ‘GovPAY’ රථවාහන දඩ මුදල් ගෙවීමේ ව්‍යාපෘතිය 2026 පෙබරවාරි 03 සාර්ථකව නිම කර තිබේ.

2025 අප්‍රේල් මාසයේ දී පොලිස් ස්ථාන 11ක් කේන්ද්‍ර කරගනිමින් නියමු ව්‍යාපෘතියක් ලෙස ඇරඹි මෙම වැඩපිළිවෙළ, අද වන විට දිවයිනේ සියලුම පළාත් 9ම ආවරණය වන පරිදි ඉතාමත් විධිමත් ලෙස ව්‍යාප්ත කර ඇත.

මෙය හුදෙක් තාක්ෂණික මෙවලමක් පමණක් නොව, මහජනතාවට වඩාත් කාර්යක්ෂම සහ විනිවිදභාවයකින් යුත් රාජ්‍ය සේවාවක් ලබාදීම වෙනුවෙන් තැබූ දැවැන්ත පියවරකි.

මෙම ව්‍යාපෘතිය ආරම්භයේ සිට මේ දක්වා රුපියල් මිලියන 115කට අධික දඩ මුදල් ප්‍රමාණයක් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ රජයට එකතු කර ඇති අතර, සාර්ථකව සිදු කරන ලද ඩිජිටල් ගනුදෙනු සංඛ්‍යාව 86,000 ඉක්මවා තිබේ.

දිවයිනේ ප්‍රමුඛ පෙළේ සියලුම බැංකු සහ ෆින්ටෙක් (Fintech) යෙදවුම් හරහා මෙම ගෙවීම් කිරීමේ හැකියාව පවතින අතර, වඩාත් විශේෂිත කරුණ වන්නේ මේ සතියේ සිට දිවයින පුරා විසිරී ඇති 55,000කට අධික Dialog eZ Cash නියෝජිතයන් හරහා අතැති මුදලින් (Cash) දඩ මුදල් ගෙවීමේ පහසුකම ද මහජනතාව වෙත විවෘත වීමයි.

මෙම දැවැන්ත ජයග්‍රහණය පසුපස ප්‍රවාහන, මහජන ආරක්ෂක සහ ඩිජිටල් ආර්ථිකය යන අමාත්‍යාංශවල මෙන්ම ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), ලංකාපේ (LankaPay) සහ ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) ඇතුළු ආයතන රැසක කැපවීම සහ සහයෝගීතාවය පවතියි.

2024 නොවැම්බර් මාසයේ සිට ආරම්භ වූ මෙම වැඩපිළිවෙළ, අඛණ්ඩ පුහුණු වැඩමුළු සහ ක්‍රියාවලි සම්බන්ධීකරණය හරහා වර්තමානය වන විට ජාතික මට්ටමේ සාර්ථක ප්‍රතිඵල අත්කර ගෙන ඇත.

මින් ඉදිරියට රියදුරන්ට ඕනෑම ස්ථානයක සිට ක්ෂණිකව (On-the-spot) දඩ මුදල් ගෙවා තම රියදුරු බලපත්‍රය ලබා ගැනීමට අවස්ථාව හිමිවන අතර, එය සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවටම ලැබුණු සුවිශේෂී පහසුවකි.