ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී අද (05) සිට 11 දා දක්වා සතියක කාලයක් පැය 24 පුරාම සියැසින් දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව මෙරට ජනතාවට හිමිව තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ ඉල්ලීමකට අනුව මෙම උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමේ දුර්ලභ අවස්ථාව මෙරට ජනතාවට උදා වී තිබේ.
ධාතූන් වහන්සේ ඊයේ පස්වරු 01.00ට පමණ ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපළේ සිට ඉන්දීය ගුවන් හමුදාවට අයත් අයි.එෆ්.සී.- 246 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබුවේ ඉන්දීය රජයේ පූර්ණ අනුග්රහයෙනි.