2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පෙබරවාරි 17 ආරම්භ කරනවා.
නිදහස් අධ්‍යාපනය කප්පාදු කරන්න හෝ ජයවර්ධනපුර දන්ත වෛද්‍ය පීඨය වහන්න හෝ තීරණයක් ගෙන නැහැ
කටකතා මත පදනම්ව පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අහන්න එපා
-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය-
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය ස්මාට් පුවරු (Smart Board) අධ්‍යාපන අමාත්‍යංශය මගින් පාසල් වෙත බෙදා දීම ආරම්භ කර ඇති අතර ඒ සඳහා පාසල් මට්ටමින් දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම වහා නවත්වන ලෙසත්, නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට හෝ ජයවර්ධනපුර දන්ත වෛද්‍ය පීඨය වසා දමන්න කිසිදු තීරණයක් ගෙන නැති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (05) පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසීය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
නිදහස් අධ්‍යාපනය විපකෂ නායකතුමාගේ ප්‍රතිපත්තිය නොවුනත් ඒ වෙනුවෙන් මේ අවස්ථාවේ හරි පෙනීසිටීම ගැන මම සතුටු වෙනවා. නමුත් මම ඉල්ලීමක් කරනවා සමාජ මාධ්‍ය හෝ වෙනත් කටකතා මත පාර්ලිමේන්තුවේ ප්‍රශ්න යොමු කරන්න එපා. නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට හෝ ජයවර්ධනපුර දන්ත වෛද්‍ය පීඨය වසා දමන්න කිසිදු තීරණයක් අපි අරගෙන නැහැ. වික්‍රමාරච්චි වෛද්‍ය පීඨය කිසිම විධිමත් භාවයකින් තොරව ආරම්බ කරලා විවිධ පාඨමාලා හදුන්වා දී තිබෙනවා. ඒ නිසා ඒ දරුවන් අසරණ තත්ත්වයට පත්වෙලා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු අපි සිදු කරමින් යනවා. ඒක දේශපාලන තීන්දුවක් නෙමෙයි. වික්‍රමාරච්චි වෛද්‍ය පීඨයේ ගැටළුව සම්බන්ධයෙන් පත්කළ විද්වත් කමිටුව මගින් ලබා දුන් වාර්තාවක් අනුවයි අපි කටයුතු කරන්නේ.
මේ වසරේ පාසල් පද්ධතියට අවශ්‍ය ස්මාර්ට් පුවරු බෙදා දෙන්න කටයුතු කරමින් යනවා කිසිම අයුරකින් දෙමාපියන්ගෙන් මුදල් එකතු කරන්න අවශය නැහැ එහෙම එකතු කරනවා නම් ඒක වහාම නවත්වන්න. මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්තුමා නියෝගයක් නිකුත් කර තිබෙනවා පාසල්වල මුදල් එකතු කරන්න එපා කියලා.
1-5 වසරට තොරතුරු තාක්ෂණය කියලා වෙනම විෂයක් ඉගැන්වීම සිදු කරන්නේ නැහැ. නමුත් ගෝලීය තාක්ෂණික ලෝකය සමග ඉදිරියට යන්න එක් එක් වයස් කාණ්ඩ වලට ගැලපෙන ලෙස තාක්ෂණික අවබෝධය ලබා දෙන්න විද්වත් උපදෙස් මත සංවාදයක් අපි ආරම්භ කර තිබෙනවා. ළමා ආරක්ෂණයත්, විද්වත් උපදෙස් සළකා බලා තමයි අපි තීරණය කරන්නේ. විෂයමාලා පිලිබඳ දේශපාලන තීන්දු ගන්නේ නැහැ. ඒ තීරණ ගන්නේ ඒ විෂය පිලිබඳ විද්වතුන් විසින්.
විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල ඉල්ලීම් සළකා බලා කැබිනට් අනුමැතිය මත අත්‍යවශ්‍ය පුරප්පාඩු වෙනුවෙන් අධ්‍යයන කාර්ය මණ්ඩල බඳවා ගැනීම අදාළ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන මේවන විට කටයුතු කරමින් යනවා. ඒවගේම ගුරු සේවය පිහිටුවා වසර තිහක් ගත වුණත් ගුරු සේවයේ ගුණාත්මකභාවය සංවර්ධනය සඳහා තව දුරටත් ගත යුතු ක්‍රියාමාර්ග තිබෙනවා. ගුරු සේවයේ උසස් වීම් සඳහා පැවති ඇගයීම් ක්‍රියාවලියේ ප්‍රායෝගික ගැටළු සහ බඳවා ගැනීම් සේවා ව්‍යවස්ථාව අනුව සිදු නොවීම යන කරුණු මත පැන නැගී ඇති ගැටළු සහඅනෙකුත් ගැටළු විසඳමින් ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්න රජයේ අවධානය මේවන විට යොමු වී තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තානා විසින් ඇසූ ප්‍රශනයට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යතුමිය මෙසේද පැවසුවාය.
පාසල් දරුවන්ගේ මූළික අවශ්‍යතා සපුරාලීම සඳහා රජයේ ප්‍රතිපත්තිමය තීරණ මත විවිධ වැඩසටහන් හදුන්වා දී තියනවා. ඒ වගේම පාසල් පෙළපොත්, නිල ඇදුම් ලබා දීමටත්, සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණය ලබා දෙන්නත් කටයුතු කර තිබෙනවා. ඊට අමතරව 6 -13 ශ්‍රේණිවල දැරියන් සඳහා අවශ්‍ය සනීපාරක්ෂක තුවා මිළදී ගැනීමට අවශ්‍ය වවුචර්පත් ලබා දී තිබෙනවා. එසේම ප්‍රාථමික පාසල්වල දරුවන් සඳහා දිවා ආහාර ලබා දීමට කටයුතු කර තිබෙනවා. ශීෂ්‍යත්වය සමත් අස්වැසුම නොලබන දරුවන් සඳහා මූල්‍යාධාර ලබා දීමට කටයුතු කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය මෙය තවත් පුළුල් කරන්න අවශ්‍ය තොරතුරු රැස් කරමින් අදාළ කටයුතු කරගෙන යනවා.
2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පෙබරවාරි මාසයේ 17 සිට 26 දක්වා පැවැත්මීට සූදානම් කර තිබෙනවා. මේ දින රාමසාන් උත්සවය පැවැත්වෙන දින වුවත් එය විභාගය පැවැත්වීමට බාධාවක් නොවන බව අදාළ අංශ විසින් දැනුම් දී තිබෙනවා. ශිෂ්‍යත්ව විභාගය සහ අපොස උසස්පෙළ විභාගය සෑම වසරකම අගෝස්තු මාසයට පෙර පැවැත්වීමටත්, අපොස සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මාසයේ පැවැත්වීමටත් තීරණය කර තිබෙනවා. 2026 වසරේ සිටම අදාල විභාග කාල සටහන අනුව විභාග පවත්වන්න උත්සාහ කරන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.