කොරියානු ජනරජයේ ජාතික සභාවේ ගරු නියෝජ්‍ය කථානායක ලී හැක් යන්ග් මහතා පසුගියදා (03) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය.
කොරියානු ජනරජයේ ජාතික සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බොක් කිවෑන්ග්, සොන්ග් ජේබොං සහ ජුන්ග් හයිකියුං යන මහත්ම මහත්මීහු, ජාතික සභා ලේකම් කාර්යාලයේ ආසියා-පැසිෆික් කටයුතු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ලී ජයොං සහ ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපතිනි මියන් ලී යන මහත්මීහු ද මෙම අවස්ථාවට එක්වූහ.
එසේම පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම හමුවට සහභාගී වූවාය.
මෙහිදී අදහස් දැක්වූ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, විවිධ සංවර්ධන ව්‍යාපෘති හරහා ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය මෙන්ම, පසුගියදා දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ව්‍යසනයේදී ලබා දුන් සහයෝගය වෙනුවෙන් කොරියානු ජනරජයට සිය කෘතඥතාව පළ කළේය. කොරියානු ජනරජයේ සහාය ඇතිව, විශේෂයෙන් කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (KOICA) හරහා අධ්‍යාපනය, ප්‍රවාහනය, ග්‍රාමීය සංවර්ධනය සහ ජල සම්පත් සංවර්ධනය යන ක්ෂේත්‍රවල ක්‍රියාත්මක කරන ලද ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ගරු කථානායකවරයා මෙහිදී සිහිපත් කළේය. තවද ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය සඳහා ලබා දී ඇති ධාරිතා සංවර්ධන වැඩසටහන් සඳහා ද ඔහු ස්තූතිය පළ කර සිටියේය.
ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය මේවනවිට ස්ථාවර වී ඇති බවත්, ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා කොරියානු ආයෝජකයින් උණුසුම් ලෙස පිළිගන්නා බවත් ගරු කථානායකතුමා තවදුරටත් ප්‍රකාශ කළේය. ඉදිරියේදී ශ්‍රී ලාංකික සේවකයින් සඳහා කොරියානු ජනරජයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලැබෙනු ඇතැයි අපේක්ෂාකරන බව ද ඔහු පැවසීය.
කොරියානු ජනරජයේ ජාතික සභාවේ නියෝජ්‍ය කථානායක ගරු ලී හැක් යන්ග් මහතා, ආරාධනය පිළිබඳව කථානායකතුමාට කෘතඥතාව පළ කළ අතර, මෙම සංචාරය දෙරට අතර මිත්‍රශීලී සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි ප්‍රකාශ කළේය.
ලබන වසරේදී ශ්‍රී ලංකාව සහ කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 50 ක් සපිරෙන බව ඔහු සඳහන් කළ අතර, දෙරටේම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ සංවර්ධනය සඳහා අංශ ගණනාවක් හරහා සහයෝගීතාව පුළුල් කිරීම කෙරෙහි විශ්වාසය පළ කළේය.
සංචාරකයින්ගේ පැමිණීම වැඩි කිරීම, බලශක්ති සහ මහාමාර්ග වැනි ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා කොරියානු සමාගම්වලට සහභාගී වීමට වැඩි අවස්ථාවන් ලබා දීම සහ දෙරට අතර පාර්ලිමේන්තු මට්ටමේ සහ සංස්කෘතික සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීම යන අරමුණු සහිතව කොරියානු සංචාරකයින් සඳහා වීසා පහසුකම් සැපයීම සම්බන්ධ කරුණු කෙරෙහි ද සාකච්ඡා කෙරිණි.
සාකච්ඡාවලින් අනතුරුව, දූත පිරිස පාර්ලිමේන්තු සංකීර්ණයේ චාරිකාවක නිරත වූ අතර පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ පිහිටි ජය ශ්‍රී මහා බෝධියට මල් පූජා කිරීමට ද කථානායක ගැලරියේ සිට පාර්ලිමේන්තු සභාගර්භයේ කටයුතු නිරීක්ෂණය කිරීම ද එක්වූහ.