Sunday, May 05, 2024
Follow Us
කොවිඩ් – 19 පරීක්ෂණයට අපි බාල බඩු දුන්නේ නෑ

ප්‍රමිතියෙන් බාල කොවිඩ් -19 පරීක්ෂණ කට්ටල සහ මුඛ ආවරණ ඇතැම් රටවලට සපයා ඇතැයි තම රටට එල්ල වන චෝදනා මුළුමනින්ම අසත්‍ය බවත් චීනය විසින් ශ්‍රී ලංකාවට අපනයන කර ඇති සියලුම වෛද්‍ය උපකරණ නියමිත ප්‍රමිතීන්ට අනුකූලව පවතින බවත් මෙරට චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.

එම තානාපති කාර්යාලය පවසන්නේ අමෙරිකාව සහ යුරෝපා රටවල් ගණනාවක්ද මේ වන විට වසංගතය පිටුදැකීම සඳහා වෛද්‍ය උපකරණ ලබා ගැනීම වෙනුවෙන් චීන සමාගම්වලට ඇනවුම් රැසක් ලබා දී ඇති බවයි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙතෙක් ලබා දී ඇති සියලුම මුව ආවරණ සහ වෛරසය හඳුනාගැනීමේ පරීක්ෂණ කට්ටලවල ප්‍රමිතිය ඉතාම ඉහළ මට්ටමේ පවතින බවත්, ඒවායේ සැපයුම්කරුවන් චීනයේ ඉහළම ප්‍රමිතිගත ආයතන බවත් තානාපති කාර්යාලය අවධාරණය කරයි.

එසේම චීන සමාගම්වලින් අදාළ වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට පෙර ගැනුම්කරුවන් විසින් අනිවාර්යයෙන්ම අදාළ සමාගමේ බලපත්‍ර සහ උපකරණවල ප්‍රමිතිය ‘අන්තර්ජාතික තත්ත්වයන්ට’ අනුකූලව පවතිනවාද යන්න පරීක්ෂා කර බලන බවද චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

කෙසේ වෙතත් හදිසි ඇණවුම් ලබා දීමේදී ලාභ අපේක්ෂාව පමණක් පෙරදැරි කරගත් ඉතාම සීමිත පිරිසක් පමණක් ප්‍රමිතියෙන් බාල වෛද්‍ය උපකරන ඇතැම් ස්ථානවලට සපයා ඇති බවට චෝදනා ලැබී ඇති බව සඳහන් කරන තානාපති කාර්යාලය මේ වන විට ඉන් 99% කට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවද වැඩිදුරටත් ප්‍රකාශ කරයි.


(Aruna)