Wednesday, September 30, 2026
Follow Us
ගාල්ල බටදූව ශ්‍රී රතනජෝති විද්‍යාලය සියලු සෞන්දර්ය විෂයයන් සහිත සෞන්දර්ය පාසලක් ලෙස විවෘත වෙයි

දක්ෂ කලාකරුවන් මෙන්ම අපට අවශ්‍ය රෝගියාගේ වේදනාව හඳුනන වෛද්‍යවරුන් සහ මිනිසුන් පිළිබඳ හැඟීමක් ඇති ඉංජිනේරුවන් බිහිකිරීමයි

— අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

දක්ෂ කලාකරුවන් මෙනම රෝගියාගේ වේදනාව හඳුනන වෛද්‍යවරුන් සහ මිනිසුන් පිළිබඳ හැඟීමක් ඇති ඉංජිනේරුවන් බිහිකිරීම රජයට අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් සෞන්දර්යය අධ්‍යාපනය ඉතා වැදගත් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

දකුණු පළාතේ දූ දරුවන්ගේ සෞන්දර්ය හැකියාවන් හඳුනාගෙන ඒවා වර්ධනය කිරීමේ අරමුණින්, ගාල්ල බටදූව ශ්‍රී රතනජෝති විද්‍යාලය සියලු සෞන්දර්ය විෂයයන් සහිත විශේෂිත සෞන්දර්ය පාසලක් ලෙස විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඊයේ (29) අග්‍රාමාත්‍යවරිය මේ බව සදහන් කළාය.

උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍යතුමිය තවදුරටත් සඳහන් කළේ, අධ්‍යාපනය යනු විභාග සමත්වීම හෝ සහතික පත්‍ර එකතු කිරීම පමණක් නොව, ජීවත්වන සමාජය තේරුම්ගෙන එහි යහපත් වෙනසක් ඇති කළ හැකි සංවේදී හා වගකීම්සහගත පුරවැසියන් බිහිකිරීම බවයි. සෞන්දර්ය අධ්‍යාපනය මඟින් දරුවන්ගේ නිර්මාණශීලීත්වය මෙන්ම අනෙකාගේ වේදනාව හඳුනාගැනීම සහ විවිධත්වයට ගරුකිරීම වැනි මානවීය ගුණාංග වර්ධනය වන බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

එමෙන්ම, සෞන්දර්ය අධ්‍යාපනයේ මානවීය වටිනාකමට අමතරව එහි ආර්ථික වැදගත්කමද අවධාරණය කළ අග්‍රාමාත්‍යතුමිය, ඉදිරියේදී හඳුන්වාදීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා සාම්ප්‍රදායික ක්ෂේත්‍රවලින් ඔබ්බට ගොස් ආර්ථිකයට සෘජුව සම්බන්ධ කළ හැකි නව ක්ෂේත්‍ර රැසක් හඳුන්වාදීමට අපේක්ෂා කරන බව සඳහන් කළාය. ඩිජිටල් කලාව, නව මාධ්‍ය, චිත්‍රපට, සංගීත තාක්ෂණය සහ නිර්මාණශීලී කර්මාන්ත (Creative Industries) වැනි නව ක්ෂේත්‍ර ඔස්සේ ලෝකය පුරා නිර්මාණය වන ආර්ථික හා වෘත්තීය අවස්ථාවලට මෙරට දරුවන් සූදානම් කිරීමේ වැදගත්කම ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.

තවද ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව, ලබන වසරේදී 2 සහ 6 ශ්‍රේණි සඳහා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවත්, ඊට අදාළ වසර 13ක විෂයමාලා රාමුව, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සංකල්ප පත්‍රිකාව සහ ශිෂ්‍ය ඇගයීම් රාමුව සඳහා සැප්තැම්බර් 28 වන දා කැබිනට් අනුමැතිය හිමිවූ බවත් ඇය අනාවරණය කළාය.

මෙම අවස්ථාවට නාකියාදෙණියේ ඥානුත්තර ස්වාමීන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, දකුණු පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සුසිරිපාල මාණවඩු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අරෝෂා ලියනගේ, තිලංක යූ. ගමගේ, ලාල් ප්‍රේමනාත් යන මහත්වරුන්, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රොහාන් නෙත්තසිංහ, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පති සුමිත් සමරවික්‍රම මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ සිසු දරුවන් රැසක් එක්ව සිටියහ.